බීමතින් රිය පැදවූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරද පිළිගනී

0
16


නොර්වුඩ් – නීටා පත්ම කුමාරි 

බිමත්ව රිය පැදවූ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 29 වැනි දින වරද පිළිගත් නිසා නුවරඑළිය මහෙස්ත්‍රාත් ජී.ජී. ප්‍රදීප ජයසිංහ මහතා තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු. 1,500ක් ගෙවන ලෙස නියෝග කර රියැදුරු බලපත්‍රය මුදාහරිනු ලැබීය.

මෙසේ තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු. 1,500ක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුවේ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනු ලබන මනතුංග මුදියන්සේලාගේ සුමිත් නිමල් මනතුංග යන අයටය.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉකුත් 27 දින ඔහුගේ නිල රථය වන  PK – 7021 දරන කැබ් රථය අධික ලෙස බීමත්ව හැටන් කුඩාගම ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් එම හෝටලයේ සේවකයන් බීමත්ව සිටිනවාද යන්න පරීක්ෂා කිරීමට පැමිණි බවත් එහිදී එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය විසින් තම හෝටලයේ කිසිවෙක් බීමත්ව සේවයේ යෙදී නොසිටින බවත් බීමත් අය පරීක්ෂා කිරීමට පැමිණීමේදී ඔබතුමා බීමත්ව නොපැමිණෙන ලෙසට කළ ප්‍රකාශයෙන් පසු උරණ වූ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා  පිටව ගොස් ඇත.

පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කොටගල ප්‍රාදේශීය රෝහලට ගොස් ආපසු නුවරඑළිය දක්වා සිය නිල රථ ධාවනය කරමින් සිටියදී ඊට පසුපසින් යතුරුපැදි දෙකකින් ගමන් කළ යතුරුපැදිකරුවන් දෙදෙනකු බීමත්ව කැබ් රථයක් ධාවනය කරවන බවට තලවකැලේ නගරයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටි තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් වෙත කළ දැනුම්දීමක් මත එම පොලිස් නිලධාරීන් කැබ් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු අධික ලෙස බීමත්ව සිටි නිසා සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර 29 වැනි දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු අංක 98746 යටතේ බිමත්ව රිය පැදවීම යන චෝදනාව යටතේ නඩු පවරා තිබිණි.