බිම්ස්ටෙක් සමුළුව රටට රැගෙන එන අවස්ථා මොනවාද?

0
87


ශ්‍රී ලංකාව බලවත් ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති අවස්ථාවක් බව නොරහසකි. ආර්ථිකය තුළ පවතින දුබලතා තිබියදී පස්වැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද පැවැත්වෙයි. සමුළුව සඳහා වන පූර්ව ජේ‍යෂ්ඨ නිලධාරීන්ගේ සාකච්ඡා වට සාර්ථකව පැවැත්විණි. කොවිඩ්  වසංගත තත්ත්වය සමඟ නොපැවැත්වුණු මුහුණට මුහුණ සමුළු නැවත වතාවක් ආරම්භ කළ හැකි බවට අද පැවැත්වෙන බිම්ස්ටෙක් සැසිවාරය එක්තරා සංකේතයකි. කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නායකයන් ගණනාවක් මෙම සමුළුවට අන්තර්ජාලයෙන් සහභාගි වන බව දන්වා ඇත.

බිම්ස්ටෙක් පැවැත්වෙන මෙම කාලයේදී ශ්‍රී ලාංකේය ජන සමාජය දුප්පත් වී ඇති අතර ආණ්ඩුව තවත් දුප්පත් භාවයට පත්ව ඇති බව නොරහසකි. අලුත් වාර්තා පෙන්වන ආකාරයට මෙරට ජාතික ආදායම රජයේ සේවක වැටුප් හා ණය පොලිය ගෙවන්නට හෝ ප්‍රමාණවත් නැත. විදේශ සම්පත් පිරිහී ඇති ආකාරයද දරුණුය. රටට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ආනයනයට පවා විනිමය ප්‍රමාණවත්ව නැත. මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ නැවත ගොඩනැඟෙන්නට ජාත්‍යන්තර සහාය අවශ්‍යය. කලාපයේ සබඳතා, අනේ‍යාන්‍ය උපකාර ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත. රටට අනන්‍ය අලුත් ව්‍යුහයක් සඳහා තෝරා ගැනීමක්, පෙළගැසීමක් ඉතාම අවශ්‍ය කරුණකි.

ලෝකයේ දුප්පත්කම තවත් වැඩි වෙයි 

බිම්ස්ටෙක් BIMSTEC සමුළුවේ පස් වැනි සැසිවාරය ඇරැඹෙන මෙම කාලසීමාව ඉතාම තියුණුය. ලෝක ආර්ථිකය නැවත වතාවක් හිස ඔසවන අතර ඇති වෙමින් සිටින පරිසරයද ඉතාම වාසිදායක නැත. කොවිඩ්  වසංගතය අවසන් කර අලුත් පරිච්ඡේදයකට ප්‍රවේශ වන අරමුණ තිබුණු නමුත් රුසියාව හා යුක්රේනය අතර ගැටුම අලුත් ව්‍යාකූලතාවකට තල්ලු කර තිබේ. බලශක්ති ප්‍රශ්නය එහි ඇවිළීමකි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 110 ඉක්මවා ඇත. සති දෙකකට කලින් ඇමෙරිකානු ඩොලර් 130 තෙක් ඉහළ ගිය මිල දැන් පහත වැටී ඇති බව පෙනෙන නමුත් එය ගැන  පුරෝකථන කළ නොහැකි බව පෙනේ. ගෑස් මිලද ඉහළ ගොස් ඇත. ආහාර හිඟයක් නැති බව ජාත්‍යන්තර වාර්තා හුවා දක්වන නමුත් අතිවිශාල වශයෙන් මිල ඉහළ නැඟ තිබේ. බටහිර හා යුරෝපා රටවල භාණ්ඩ මිල ඉහළ යෑම පසුගිය දශක හතරකට වඩා වැඩිම තැනට පත්ව තිබීම විශේෂත්වයකි.

සසල වී ඇති ආර්ථික ප්‍රවණතා හ¾දුනා ගැනීම, සම්බන්ධිත රටවල් වශයෙන් කලාපයේ එකඟතාවකින් එහි තාක්ෂණික මුහුණුවර වටහා ගැනීම ඉතාම වැදගත්ය. කුඩා රටවලට ගෝලීය ආර්ථිකයේ ඇතිවන වියැවුල්වලින් ගැහැට අත්වෙමින් තිබේ. සම්පත් ආරක්ෂා කර ගැනීමට ලොකු රටවල් සූදානම්ය. ජාත්‍යන්තර විශේෂඥයන් අනතුරු අඟවන ලද පරිදි හදිසි අර්බුදයකදී ආහාර, ඉන්ධන හා තෙල් අඩුම තරමින් දින අනූවක අවශ්‍යතා සඳහා ගබඩා කරගන්නා සේ උපදෙස් ලැබී ඇත. එම පියවරට උත්සුක වන ලෝකයේ බලවත් රටවල් ලෝක වෙළෙඳපොළේ සැපයුම තමන් වෙතට හරවා ගනිමින් සිටියි. එය සාධාරණ තත්ත්වයක් නොවන නමුත් තනි රටවල් වශයෙන් අත්වන අවාසිදායක තත්ත්වය වටහා ගත යුතුය. මෙම නව ප්‍රවණතාවට මුහුණ දෙනු සඳහා අලුත් ශක්තියක් අවශ්‍ය වන අතර නැවත වතාවක් ලෝක ආර්ථිකය කළමනාකරණය කරගත හැකි තැනට පත්වන තෙක් යැපෙන ක්‍රමයක් ගැන අවධානය යොමු කළ යුතුව ඇත. ජාත්‍යන්තර වාර්තා අනාවරණ යකරන පරිදි ලෝක ප්‍රජාව අතරින් මිලියන 150ක් අතිශය දිළි¾දු තැනකට වැටී ඇත. කොවිඩ්  වසංගතය එයට සෘජු බලපෑමත් වූ බව දැක්වේ. දුප්පත්කම අඩු වී ගොස් මිලියන අසූවක පමණ දරිද්‍ර ජන කොටසක් දක්වා සීමා වූ නමුත් ඇති වූ තත්ත්වය වසර විස්සකට මෙපිට විශාලම දරිද්‍රතා ජන කොටස වාර්තා කරන්නට හේතු වූ බව ලෝක බැංකුව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. බිම්ස්ටෙක් කලාපයේ පවතින අභ්‍යන්තරය හ¾දුනාගෙන ගැටලු විසඳා ගැනීමට අදින් ඇරඹෙන සැසිය අවස්ථාවක් වනු ඇත. 

බෙංගාල බොක්ක අවට රටවල එකතුව 

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින රටවල බැඳීම සහ බිම්ස්ටෙක් සමුළුවෙන් අරමුණු කරයි.  තායිලන්තය, මියන්මාරය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව මෙම සංවිධානයට අයත්ය. හතරවැනි සැසිවාරය නේපාලයේ පැවැත්විණි. ඉකුත් සමුළුවට පසු සමුළුවේ මෙවර සැසිවාරයේදී සභාපති ධුරය ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ඇත. පසුගිය කාලය තුළ බිම්ස්ටෙක් සමුළුව ජාත්‍යන්තර ප්‍රජාව තුළ යම් අවධානයක් දිනා ගන්නට සමත් විය. 

බිම්ස්ටෙක් සමුළුව ගැන උනන්දුවත් ඇති වූයේ 1997 වසරේදීය. තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැති සාකච්ඡාවට මියන්මාරය හා ලංකාව එකතු වූයේ නැති අතර එම සමුළුව එවකට  BISTEC  බිස්ටෙක් යනුවෙන් හැඳින්විණි. බහුවිධ ක්‍ෂේත්‍රවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව ඇති කරගැනීම අරමුණ බව ප්‍රකාශ විය. මියන්මාරය 1997 වසරේදී සහ ශ්‍රී ලංකාව 1998 වසරේදී මෙයට නිරීක්ෂක මට්ටමෙන් සම්බන්ධ වී පසුව ස්ථීර සාමාජිකත්වය ලබා ගත්තේය. මෙම සමුළුව ප්‍රථම සැසිවාරය බැංකොක් නගරයේදී 2004 වසරේදී පවත්වන ලද අතර දෙවැන්න 2008දී නව දිල්ලියේදීද සංවිධානය කෙරිණි.

ජාත්‍යන්තර විචාරකයන්ට අනුව බිම්ස්ටෙක් සමුළුව ඔස්සේ සම්බන්ධිත රටවල් අනාගතයේදී  නිදහස් වෙළෙඳ සහ ආර්ථික කලාපයක් ඇති කරන මට්ටමට පත්වනු ඇතැයි සැලකේ. එහෙත් එවැනි නිදහස් ආර්ථිකයක් බිහි කරන සැලැස්මක් ගැන මෙතෙක් සාකච්ඡා වූයේ නැත. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගිතාවක් ඇතිකර ගැනීම වැදගත්ය. මෙයට කලින් ආසියාව, අග්නිදිග ආසියාව සහ සාක් කලාපය වශයෙන් සංවිධාන ගණනාවක් එකමුතු වී සිය ශක්තිය සහ අනාගත පැවැත්ම වෙනුවෙන් ක්‍රියා පටිපාටි සම්පාදනය කරගෙන තිබේ. 

අනාගතයේ ඇති කරගත හැකි අවස්ථා

සාමාජික රටවල් අතර වෙළෙඳ සහ නිෂ්පාදන අංශ අතර යම් එකඟතාවන් ඇති කරගැනීමට බිම්ස්ටෙක් සමුළුවේදී ඉඩකඩ ලැබෙයි. රටවල් අතර වෙළෙඳාමේදී බදු නිදහස සහ රටවල් අතර කරන භාණ්ඩ හුවමාරුව ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන සාකච්ඡාවට ගැනී ඇති වැදගත් කරුණකි. භාණ්ඩ අපනයනයේදී එය ආරම්භ වන වරාය පදනම් කරගෙන ක්‍රියා කරන්නටද අනේ‍යාන්‍ය එකඟත්වය මත තීරුබදු තීරණය කරන්නටද ඉදිරියේදී ඉඩ සැලසෙනු ඇත. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රටවල් අතර විශේෂඥයන්ගෙන් සමන්විත සහයෝගිතා කණ්ඩායම් පත්කරගෙන ඇත. දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණ දිනා ගැනීමට අමාත්‍ය මට්ටමේ  සමුළුවක් නේපාලයේදී පැවැති අතර එහිදී හෙළිකර ගත් ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහ වසර 2030 වන විට එය සාක්ෂාත් කරගන්නට අපේක්ෂා කෙරේ. සංස්කෘතික සහ කර්මාන්ත කොමිසමක් සහ එහි අවශ්‍යතා හ¾දුනා ගන්නා නිරීක්ෂක වැඩපිළිවෙළකටද සමුළුව අනුමැතිය දී තිබේ. ඉතාමත් වැදගත් වන්නේ බිම්ස්ටෙක් රටවල් අතර කාලගුණය සහ ස්වාභාවික විපත් සම්බන්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි. බෙංගාල බොක්ක අවට කලාපය ඉතාමත් අවිනිශ්චිත තත්ත්ව ඇති කරයි. කාලගුණ විපර්යාස හෙයින් තායිලන්තය සහ බංග්ලාදේශය නිතර විපතට පත්වෙයි. කලින් අනාවරණය කරගන්නා තොරතුරු සහ රටවල් අතර සහයෝගිතාව ඇතිකරන වැඩපිළිවෙළක් මඟින් බෙංගාල බොක්ක අවට සිදුවන කාලගුණ විපත්වලින් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කර ගැනීමට යම් අවස්ථා ඇති කරගත හැකි වෙතැයි සැලකේ.

කනෙක්ටිවිටි යන සංකල්පය මෙයට අමතරව අවධානය යොමු කරන කරුණකි. ජනතාව අතර සම්බන්ධතා තර කරනු සඳහා ගොඩබිමින්, අහසින් හා මුහුදෙන් රටවල් යා කෙරෙන සැලැස්මක් ඇත. එය සංචාරක කටයුතුවලට ප්‍රගමනයකි. ආර්ථික ශක්තියද ඇති කෙරේ. ත්‍රස්තවාදය හා සංවිධානාත්මක අපරාධ තුරන් කරන්නට සහයෝගිතාවද ඇති වෙයි. එමඟින් මත්ද්‍රව්‍ය, ආයුධ වෙළෙඳාම, මිනිස් ජාවාරම් වළකන එකමුතුවකට යනු ඇත. ශ්‍රී ලංකාවෙන් පැනගිය ලක්ෂයකට අධික පිරිසක් ඉන්දියාවේ කඳවුරු එකසිය ගණනක ජීවත් වෙති. ශ්‍රී ලංකාවටද කලාපයේ රටවලින් පැන එන පිරිස් ඇත. ඔවුන්ගේ ගමනාන්තය ලෝකයේ වෙනත් කලාපයකි. මෙම සංක්‍රමණවලදී ගත යුතු අනේ‍යාන්‍ය ක්‍රියාමාර්ග බිම්ස්ටෙක් සමුළුවේ නිලධාරි සාකච්ඡාවලට ගැනේ. බලශක්ති අංශය අලුතින් එකතු වී ඇත. මුලින් සඳහන් කළ පරිදි බලශක්ති තොග රැස්කර ගැනීමට ලෝකයේ රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග සමඟ සමපාත වන උපාය සලකා බැලීම අවශ්‍යය. න්‍යායපත්‍රව අන්තර්ගත කරුණු කෙසේ වෙතත් අවසානයේදී ලෝකයේ සමුළු හා සැසිවාර අවසන් වෙන්නේ එහි දායකත්වය ගන්නා බලවත් රාජ්‍යයන්හි රාමුව අනුවය. බෙංගාල බොක්ක අවට කලාපය හැදෙන්නේ ඉන්දියාවට එහා පැත්තෙන් සිටින පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය වැනි රටවල් පසෙක තබමින් බව අමතක කළ යුතු නැත. ඉන්දියාවට සමීප කරගත යුතු රටවල් ඇසුරක් බව පෙනෙන නමුත් මෙවැනි සහයෝගිතාවලින් ලැබෙන පිටිවහල වැදගත්ය.

ශ්‍රී ලංකාවට උපක්‍රමික සහයෝගිතාවක් සඳහා 

බිම්ස්ටෙක් සමුළුව පවත්වන මෙම කාලය ශ්‍රී ලංකාවේ ජනතාව දුප්පත් භාවයට පත්ව ඇති කාලයකි. ලෝකයේ ජනගහනයෙන් මිලියන 150ක් අන්ත දිළි¾දු භාවයට පත්වන බව දක්වන අතර එයට ශ්‍රී ලංකාවේ නියෝජනය නොසලකා හැරිය නොහැකි පැත්තකි. ජනතාව පමණක් නොව ආණ්ඩුවද දුප්පත්ය. අලුත් වාර්තා දක්වන පරිදි රජයේ ආදායම රජයේ සේවක වැටුප් හා ණය පොලී ගෙවා ගැනීමට හෝ ප්‍රමාණවත් නැත. බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයකි. බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වන කිසිම රටක මෙවැනි අවම බදු ආදායමක් වාර්තා නොවන බවට සැකයක් නැත. ඡන්ද දිනන දේශපාලන උපක්‍රම වශයෙන් රජයේ ආදායම අතහරින යෝජනා ක්‍රියාවට නංවන විට මෙවැනි අභියෝග ඇතිවෙයි. හදිසි විපත් හෙයින් තවත් දුර්වල වන විට ආර්ථිකය බින්දුවට වැටීම හැර අනෙක් ක්‍රමයක් නැත.

අනෙක් අතට ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් හීන වී තිබේ. සාමාන්‍යයෙන් මාස තුන හතරකට මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත්ව තිබුණු සංචිත මාසයකටවත් ප්‍රමාණවත් නැති බව කියැවේ. ඉන්දියාවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි සංචිතය හා ඉන්ධන මිලදී ගැනීමට ලැබුණු චක්‍රීය ණය මහත් පිටිවහලක් විය. චීනයෙන්ද තවත් ණය මුදලක් අපේක්ෂා කරන බව දැක්වේ. මේවා රාමුගත කළ යුතුය. බිම්ස්ටෙක් සමුළුව සමඟ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති හදිසි අනාරක්ෂිත තත්ත්වය ගැන රටවලට පහදා දී වෙළෙඳාම හා සංචාරක කටයුතු ගැන උනන්දු වීම වැදගත්ය. ආයෝජන අවස්ථා ඇති කර ගත හැකිය. ලෝකයේ ඕනෑම රටකින් ණය ගත හැකිය. වාණිජ ණයවලට අවස්ථාව තිබේ. ඒවා ආපසු ගෙවන්නට සිදුවේ. ගෙවන්නට නම් උපයන්නට අවශ්‍ය කෙරේ. වෙනත් කලාපවලින් ළඟා වෙන්නට කලින් බිම්ස්ටෙක් රටවල සහායෙන් සංචාරක, ආයෝජන හා වෙළෙඳාම තර කර ගැනීම අපට ඇති අවකාශයකි. රාජ්‍ය තාන්ත්‍රික මටට්මින් පමණක් නොව මෙම රටවල් අතර ජනතාව, සිවිල් සංවිධාන හා ව්‍යාපාර අතර සංකීර්ණ සබඳතා ඇති කරගත යුතුය. ඒවාට ගැළපෙන ලිහිල් ප්‍රතිපාදන සැකසීම ප්‍රධානීන්ගේ වගකීමකි. විශේෂයෙන් සමුළු පවත්වා ඒවායේ විස්තර බෙදාහැරීම වෙනුවට ලබාගත හැකි අවස්ථා ගැන දැනුවත් කිරීම අවශ්‍යය. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ එතැනින්ය.

 ශාමින්ද වත්තේගෙදර