බ්‍රැන්ඩික්ස් පානීය ජල සැපයුම් හා ජල සංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

0
30


බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝගවලට මුහුණදීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේය.  

මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සියමනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් පිරිසුදු ජල පහසුකම් ලබාදීම සඳහා ‘මෙහෙවරට දියවර’ ව්‍යාපෘතිය දියත් කරන ලදී. මේ වනවිට මඩකළපුවේ සිට කොග්ගල දක්වා රටපුරා ‘මෙහෙවරට දියවර’  ව්‍යාපෘති 4,200කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවමින් තම සාමාජික සාමාජිකාවන් සියලුමදෙනාට සහ ඔවුන්ගේ පවුල්වලට පිරිසුදු ජල පහසුකම් ලබාදීමට බ්‍රැන්ඩික්ස් සමත් වී ඇත. මෙවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල කාන්තාවන් සහ ගැහැනු දරුවන්ගේ යහපත උදෙසා අතිශයින් වැදගත්ය. පිරිසුදු ජල පහසුකම් නොමැති විට ඔවුන්ට බොහෝදුරට ජලය රැස්කිරීම සඳහා තම කාලය කැපකිරීමට සිදුවන අතර මෙය ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සහ ආර්ථික කටයුතුවල යෙදීමට පවතින ප්‍රධානතම බාධාවකි. 

මෙම ‘බ්‍රැන්ඩික්ස් මනුසත්කාර’ තම සාමාජික සාමාජිකාවන්ට පමණක් සීමා නොකර සිය කර්මාන්තශාලා ආසන්නයේ වෙසෙන ජනතාව වෙතද ව්‍යාප්ත කිරීම  සඳහා ආදර්ශ ගම්මාන වැඩසටහනක්ද බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නංවන ලදී. මෙමඟින් පුද්ගලයන්ට පමණක් නොව සමාජයේ යහපත වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන පාසල්, රෝහල්, ප්‍රජා මධ්‍යස්ථාන සහ ආගමික ස්ථාන ආදිය සඳහාද යහපත සැලසේ. මේ වනවිට මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් ප්‍රතිලාභ හිමි වී ඇති පිරිස මිලියනයකට අධිකය. 

විශේෂයෙන්ම කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සනීපාරක්ෂාවට මුල්තැන දීමට සිදු වූ පසුගිය කාලය තුළ ‘මෙහෙවරට දියවර’ සහ ආදර්ශ ගම්මාන ව්‍යාපෘති තුළින් ඉටු වූ මෙහෙවර, එම ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ හිමිවූවන් ඇතුළුව සියලුම දෙනාගේ ප්‍රශංසාවට ලක්විය. 

මෙවර ලෝක ජල දිනය වෙනුවෙන් තවත් ‘මෙහෙවරට දියවර’ ව්‍යාපෘති 87ක් සම්පූර්ණ කර තම සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කළේය. එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහය ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, ආදර්ශ ගම්මානවල පිහිටි පාසල්වල තාප්ප මත චිත්‍ර ඇඳීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබේ. ‘ජලය ජීවයයි’ යන තේමාව යටතේ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, ජල සම්පත සුරැකීමේ වැදගත්කම පිළිබඳව නිර්මාණශීලී ලෙස දරු පරපුරට අවබෝධ කරවීමය.