බණ්ඩාරවෙල ජනතාවගේ විරෝධතා මැද නාමල් අද බණ්ඩාරවෙලට එයි ද?

0
12

කේ. පල්ලේගම – බණ්ඩාරවෙල

දින හතරක් තිස්සේ ඩීසල් නොලැබීම හේතුවෙන් අද (මාර්තු 30) උදෑසන සිට බණ්ඩාරවෙල නගරයේ ජනතාව විරෝධතාවක නිරත වෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

ඔහු සඳහන් කළේ, ලොරි රථ රියැදුරන් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ රියැදුරන් මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින බව ය. 

මේ වන විට බණ්ඩාරවෙල නගරයේ දැඩි ඩීසල් හිඟයක් පවතින අතර අද දිනයේ ඩීසල් ලබා දෙන බවට ඊයේ පොලිසිය පොරොන්දු වී තිබුණ ද මෙතෙක් ඉන්ධන පිරවුම් හල් සඳහා ඩීසල් ලැබී නොමැති බව අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ පිරිස කෑන් ද රැගෙන බණ්ඩාරවෙල නගරයේ මාර්ග දෙකක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන බව ය.

මේ අතර, අද පස්වරු 2.00ට බණ්ඩාරවෙල ‘නලින් ප්‍රියන්ත සූරියගේ ක්‍රීඩාංගණය’ විවෘත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතව තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී ප්‍රදර්ශන පාපන්දු තරගයකට සහභාගි වීමට ද සැලසුම් කර ඇති බව ය.

කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍යවරයා මෙම වැඩසටහන සඳහා සහභාගි වීම අවිනිශ්චිත බව වාර්තා වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මේ අතර, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් බණ්ඩාරවෙල ජනතාව පාරවල් දෙකක් අවහිර කර ඉන්ධන කෑන් ද රැගෙන විරෝධතාවක නිරතව සිටින බව ය.