පේරාදෙණිය රෝහලේ සැත්කම් ප්‍රශ්නයට ජයිශංකරුත් මැදිහත් වෙයි

0
20


විනීතා එම්. ගමගේ, මහනුවර – කමල් සුරවීර

පවතින ඔෟෂධ හා උපකරණ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැලසුම්ගත සැත්කම් (Routing surgeries) නවත්වන ලෙස අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පෙරේදා කළ නියෝගය ඊයේ (29දා) යළි ඉවත් කරගත්තේය. ඒ අනුව ඊයේ සිට යළි එම රෝහලේ සැත්කම් සාමාන්‍ය පරිදි සිදු කෙරිණි. එහි පැවැති බරපතළ ඔෟෂධ හිඟය හා උපකරණ හිඟය හේතුවෙන් සැත්කම් නැවැත්වීමට මුලදී තීරණය කළ නමුත් අත්‍යවශ්‍ය ඔෟෂධ හා උපකරණ කිහිපයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ පියවර ගැනීම නිසා එකී ලිපිය ඉවත්කර ගැනීමට අධ්‍යක්ෂවරයා තීරණය කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.

කෙසේ වෙතත් මේ දිනවල මෙරට නිල සංචාරයක යෙදී සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පේරාදෙණිය රෝහලේ ඔෟෂධ හිඟය පිළිබඳව ඉන්දීය රජයට මැදිහත් විය හැකි ආකාරය කෙසේද යන්න සොයා බලන්නැයි ශ්‍රී  ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව සඳහන් වේ.