ප්‍රධාන අමුත්තා ලෙස බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කරන්න හිටිය නාමල්ට මොක ද වුණේ?

0
75

පී. ජයන්ත – හපුතලේ, කේ. පල්ලේගම – බණ්ඩාරවෙල


දින හතරක් තිස්සේ ඩීසල් නොලැබීම හේතුවෙන් අද (මාර්තු 30) උදෑසන සිට බණ්ඩාරවෙල නගරයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.

අප වාර්තාකරු සඳහන් කළේ, ලොරි රථ රියැදුරන් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ රියැදුරන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බව ය. 

මේ වන විට බණ්ඩාරවෙල නගරයේ දැඩි ඩීසල් හිඟයක් පවතින අතර අද දිනයේ ඩීසල් ලබා දෙන බවට ඊයේ පොලිසිය පොරොන්දු වී තිබුණ ද මෙතෙක් ඉන්ධන පිරවුම් හල් සඳහා ඩීසල් ලැබී නොමැති බව අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ පිරිස කෑන් ද රැගෙන බණ්ඩාරවෙල නගරයේ මාර්ග දෙකක් අවහිර කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බව ය.

මේ අතර, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (මාර්තු 30) දින බණ්ඩාරවෙල ‘නලින් ප්‍රියන්ත සූරියගේ ක්‍රීඩාංගණය’ විවෘත කිරීමේ උත්සවයට පැමිණීමට නියමිතව තිබුණ ද ඇමතිවරයා ඊට සහභාගි නොවූ බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව, ඔහු අතින් විවෘත කිරීමට නියමිතව තිබූ නවීකරණය කරන ලද එම ක්‍රීඩා පිටිය බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා විවෘත කර තිබේ.

අද පස්වරු 2.00ට ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ උත්සවය සඳහා සහභාගි වීමට නියමිතව තිබිණි.

අප වාර්තාකරු වැඩිදුරට ත් සඳහන් කළේ, ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී ප්‍රදර්ශන පාපන්දු තරගයකට සහභාගි වීමට ද සැලසුම් කර තිබුණු බව ය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අදාළ උත්සවය සඳහා ඇරයුම් කර තිබුණු ආරාධනා පත්‍රය.