නඩුව අත්හිටුවන්න ඉල්ලූ චම්පිකගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

0
14


කමල් මහේන්ද්‍ර වීරරත්න

2016 දී රජයේ කැබිනට් ඇමැතිවරයකුව සිටිමින් තම නිල රථය (පැජරෝ ජීප් රිය) නොසැලකිලිමත් ලෙස පැදවීමෙන් රාජගිරියේදී තරුණයකු යටකර පලාගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ බලපවත්නා නීතිය ක්‍රියාත්මක වීම මඟහරවාලමින් තම නිල බලය භාවිත කොට තොරතුරු වෙනස් කිරීම, රිය පැදවූ අය ලෙස අන් අයකු අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණය නොමඟ යැවීම යනාදී චෝදනා යටතේ තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගය ලබාදෙන ලෙසට ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කොට තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙනම මූලික අවස්ථාවේදීම ඉවත දැමීමට අභියාචනාධිකරණය ඊයේ (29දා) පියවර ගත්තේය. 

අභියාචනාධිකරණයේ විනිසුරු මේනකා විජේසුන්දර හා විනිසුරු නීල් ඉද්දවෙල යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම පිළිබඳ මූලික කරුණු විමසුම සිදුවිය.

2016 පෙබරවාරි මස 28 වැනි දින රාත්‍රි 9.55ට පමණ රාජගිරියේදී මහ මාර්ගයේ ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි තරුණයකු වන සංදීප් සංජය ගුණවර්ධන යන අයට බරපතළ තුවාල සිදුකොට වින්දිතයාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම අනතුර පොලිසියට වාර්තා නොකිරීම පසුව අනතුර වාර්තා කරමින් රිය පැදවූ අය ලෙස වෙනත් අයකු ඉදිරිපත් කරමින් අධිකරණය මුළා කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ගොනුකොට ඇති අධිචෝදනා පිළිබඳව කොළඹ මහාධිකරණය හමුවේ නඩු විභාගයක් ආරම්භව ඇති අතර එය අත්හිටුවන ලෙසට ඉල්ලා කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත.

එම ප්‍රතික්ෂේප කිරීමට අභියෝග කරමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනුකොට තිබිණි. මෙම ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ දිගින් දිගටම කරුණු දක්වමින් සඳහන් කර සිටියේ නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු පමණක් නොව ඉන් එහා වගකීමක් දරනු ලබන කැබිනට් අමාත්‍යවරයකු වශයෙන්ද කටයුතු කර තිබීමත් නීතිය වල් වැද්දවීමට නීතිය කණපිට පෙරළීමට අධිකරණය මෙන්ම ගරු විනිශ්චයකාර තුමන්ලාද මුළා කොට වරද සිදුකළ තමා වෙනුවට අන් අයකු තම නිලබලය භාවිත කරමින් ඉදිරිපත් කොට අධිකරණය උපහාසයට ලක්කිරීම යන සියලු චෝදනාවන්ට විත්තිකරු පැහැදිලිවම වැරැදිකරු බව මේ වනවිටත් තහවුරු වෙමින් ඇති පසුබිමක එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා මෙම ඉහළ අධිකරණයට විත්තිකරු පැමිණීම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් බව කියා සිටියේය. 

ඒ අනුව නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමේ පරම වගකීමක් දරන පාර්ලිමේන්තු මහජන නියෝජිතයකු වන විත්තිකරු තවදුරටත් නීතියේ ආධිපත්‍ය බිඳ හෙළීමට මෙලෙස ඉහළ අධිකරණයට පැමිණ කරනු ලබන ක්‍රියාදාමයට කිසිවිටෙකත් ඉඩ දීමට අධිකරණ නිලධාරීන්ට හෝ විනිශ්චයකාර තුමන්ලාට හා විනිශ්චයකාර තුමියන්ලාහට කිසිදු ඉඩහසරක් නොමැති බවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.

ඉකුත් පෙබරවාරි 21 වැනි දින කරුණු දැක්වීමෙන් පසු ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගත යුතුද නැද්ද යන තීන්දුව ඊයේ (29දා) දින ප්‍රකාශ කරන බවට විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළ අතර ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසි නිකුත් කිරීම පවා ප්‍රතික්ෂේප කරමින් ඊයේ (29දා) එම පෙත්සම ඉවත දමනු ලැබීය.