තෙල් ප්‍රශ්න මට කියන්න 0777 414 241

0
19


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඒ පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය මාධ්‍යයට ඉදිරිපත් කළේය.

ඒ අනුව 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසද ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කීවේය.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බවද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලොකුගේ අමාත්‍යවරයා මේ බව පැවැසූ අතර එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුර දෙමින් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මෙසේද කීය.

ප්‍රශ්නය – ඔබතුමා කියනවා ඉන්ධන අර්බුදය අවසන් වෙලා කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ශ්‍රී  ලංකාව ගැනද? 

පිළිතුර – ඔව්, ශ්‍රී  ලංකාව ගැන තමයි.

ප්‍රශ්නය – නමුත් සෑම තැනම ඉන්ධන පෝලිම් තියෙනවනේ. සමහර ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් වහලානේ. ඔබතුමා යන්නෙ නැද්ද ඒවා බලන්න.

පිළිතුර – ඒ තැන්වලට බවුසර් දෙක දෙක යැව්වා. නමුත් ඉන්ධන ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. ඒ නිසයි එවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – මේ අර්බුදය එන්න කලින් කොච්චර ඉන්ධන ෂෙඩ්වලට දුන්නද? දැන් කොපමණ දෙනවද?

පිළිතුර – කලින් ඉන්ධන ටොන් 7,000ක් වගේ දුන්නා. දැන් ටොන් 8,000ක්, 9,000ක් අතර ප්‍රමාණයක් දෙනවා.

ප්‍රශ්නය – එතකොට කොහොමද ඉන්ධන හිඟවෙන්නේ. බවුසර්වලින් ඉන්ධන වාෂ්ප වෙලාද.

පිළිතුර – එහෙම දෙයක් නෑ. ඉල්ලුම වැඩිවෙලා තියෙන්නේ. මොකද සමහරුන්  ඉන්ධන බූලි කෑන්වලටත් පුරවාගෙන යනවා. ඒ නිසයි එහෙම වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඒ විදිහට අරන් යනවා නම් ජනතාව ගෙවල්වල වතුර ටැංකිවලටත් තෙල් ගහගෙන ඇති.

පිළිතුර – සමහර තැන්වල වතුර බවුසර් අරන් ඇවිත් තෙල් ගහලා තිබ්බා.

ප්‍රශ්නය – ඉතින් ඒවා ඔබතුමාලා සොයන්න එපැයි?

පිළිතුර – ඔව් ඒක හරි. සොයන්න ඕනේ. ඒවා.

ප්‍රශ්නය – මේ වනවිට තෙල් තොග කොච්චර තියෙනවද?

පිළිතුර – පෙට්රල් තොග 20,500ක් වගේ තියෙනවා. එය දින 04කට 05කට වගේ ප්‍රමාණවත්.

ප්‍රශ්නය – තෙල් නැව්වලට කොච්චර මුදල් ගෙවන්න තියෙනවද?

පිළිතුර – නැවක් පමා වුණොත් ප්‍රමාද ගාස්තු ගෙවන්න අවශ්‍යයි. මට හරියටම ප්‍රමාණය කියන්න බැහැ.

ප්‍රශ්නය – අහිංසක ජනතාවගේ සල්ලි පිටරටට යන එක ඔබතුමන්ලා ගණනය කරන්නේ නැද්ද?

පිළිතුර – අපි ඒ පිළිබඳව සැලකිල්ලෙන් ඉන්නේ. අපි මාධ්‍යයට ඇත්ත කියන්න ඕනෑ.

ප්‍රශ්නය – බොරතෙල් බැරල් ලක්ෂ 7ක් පරීක්ෂණ සඳහා සපුගස්කන්දට ගේනවා නේද? ඒවා සාධාරණ මිල ගණන්වලටද ගේන්නේ.

පිළිතුර – ලෝකයේ පවතින මිල ගණන්වලට අනුවයි ගේන්නේ.

ප්‍රශ්නය – ඉන්දීය විදේශ කටයුතු ඇමැතිතුමා නම් මේ රටේ ඉන්ධන පිරවුම්හල්වලට ගිහින් ඉන්ධන තියෙනවද? නැද්ද? කියලා සොයනවා. ඔබතුමා එහෙම යනවාද?

පිළිතුර – මම යන එන ගමන් ඉන්ධනහල්වලට ගිහින් ඒවා පරීක්ෂා කරනවා. තව අපේ ඒවා සොයා බලන පිරිසකුත් ඉන්නවා. ඒ පිළිබඳව මම පෞද්ගලිකව සොයා බලනවා.