ජාතිය – ආගම අනතුරේ කියලා පොහොර නොමිලේ දෙනවා කියලා රාජපක්ෂලා කප් එක ගැහුවේ ගොවියා රවටලා

0
19


අනුරාධා හේරත් 

“රාජපක්ෂලා හැමදාම කප් ගැහුවෙ ගමේ ගොවියා පාවිච්චි කරලා” යැයි ජාතික ජන බලවේගයේ නායක  අනුර කුමාර දිසානායක ඊයේ (29දා) පොළොන්නරුවේ  පැවැති දැවැන්ත ගොවි ජන රැලිය අමතමින් පැවැසීය. 

මේ දූෂිත ආණ්ඩුව වහා පලවා හැරිය යුතු බවත් ජනාධිපති මුක්තිය පාවිච්චි කර යට ගසා ඇති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩු නැවත විභාගයට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් දිසානායක මහතා කීය.

‘සාගතයද? ජීවිතයද’ තේමාවෙන් පැවැති මෙම රැලියට විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“මේ නෑසුණු කනින් ඉන්න ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුවට අපි කියනවා මේ රටේ ගොවියාගේ වන්දි ගෙවන්න කියලා. ඒ වෙනුවෙන් අපි කොච්චර උද්ඝෝෂණ කළාද? හැබැයි මේ ගොවියගේ ඉල්ලීම්, අඳෝනාවලට ඇහුම්කන් නොදෙන හිරිවැටුණු නායකයෙක්. අද දරුවාට හොඳ අධ්‍යාපනයක්, හොඳ ආහාර වේලක් තියෙනවද? මානසික නිදහසක් තියෙනවාද? ඒ කිසිවක් අපට නෑ. අපේ පරඬැල් වගේ ජීවිත.

අපේ පරම්පරාවේ විශාල පිරිසක් යුද්දෙට ගිහින් මැරුණා. සමහරු මැදපෙරදිග රස්සාවට ගියා. කරදර පීඩා දරාගන්න බැරුව උදේ – හවස කනමදයා වගේ  බීලා ජීවිත කීයක් විනාශ වෙලා තියෙනවද? සියලු සමාජ සම්බන්ධතා බිඳිලා. අවුරුදු 74ක් මේ පාලකයෝ ජනතාව පීඩාවට පත් කළා. 

අපිට සමහරු කියනවා සහෝදරයා දැන් ජන බලවේගයට තත්ත්වය ගොඩක් හොඳයි, හැබැයි ගම්වල ටිකක් අඩුයි කියලා. දැන් ගමේ කොහොමද? දැන් හොඳයි නේද? හැබැයි තව එකතු වෙන්න ඕනේ. අපේ ඇස් ඉදිරිපිට මුහුණදී තිබෙන මේ පීඩාවන්ට එරෙහිව අපිට තව තව සංවිධානය කරන්න ඕනේ. 

මේ ජනතාව පාරට බැහැලා වන්දි, පොහොර ඉල්ලුවා. ඒවත් දිනාගමු. ඒ වගේම යහපත් රටක් නිර්මාණය කරන්න අපි එක්වෙමු. නාටු  බැහැපු කුඹුරු අස්වද්දන්න කැමැති නැද්ද? මාළු සම්පත නෙළාගන්න හොඳ ආදායමක් ලබන්න කැමැති නැද්ද? කැමැතියි නේද? අපි එක්වෙමු. ඒ වෙනුවෙන් පොර බදිමු. දුප්පත් – පොහොසත් භේදයකින් තොරව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියක් අපිට ඕනෑ නැද්ද? තරුණ පරම්පරාවෙ දැනුම එක් කරගන්න තියෙනවා. ඒ දැනුම, ශක්තිය, බුද්ධිය එක තැනකට ගේන්න ඕනේ. ඒ වගේම තිරසර අධ්‍යාපනයක් හදන්න ඕනේ. 

2017 රිමාන්ඩ් වෙලා තියෙනවා 99,000ක්. ඉන් 84,000ක් 8 ශ්‍රේණිය දක්වා වත් ඉගෙනගෙන නැහැ. අධ්‍යාපනය අවුල් නම් අපරාධවලට ඉඩකඩ වැඩියි. මේවා වෙනස් කළ යුතුයි. මත්කුඩුවලට ඇබ්බැහි වූ අයගෙන් 78%ක් සාමාන්‍ය පෙළවත් ඉගෙනගෙන නෑ. දුප්පත්භාවය හා අධ්‍යාපන අතර ප්‍රශ්නයක් තියෙනවා. මූලික අවශ්‍යතා සියල්ල කඩා වැටිලා. ඇමැතිගේ ලියුම ඕනෑ පාසලකට දරුවෙක් දාන්න. ලියුම ගන්න ගියාම අහනවා ඡන්දෙ දුන්නද කියලා. අද අධ්‍යාපනය මවුපියන්ට බරක් වෙලා. හැබැයි අධ්‍යාපනය ආණ්ඩුවේ  වගකීමක් බවට අපි පත් කරනවා. පුරවැසියන්ට තම දරුවන්ටත් නිසි පරිදි අධ්‍යාපන පහසුකම් සපයන්න බැරිනම් ඒ ආණ්ඩුවට විරුද්ධව නඩු දාන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපි හදනවා.

ඒ වගේම මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනැඟිය හැකියි. කිසියම් රටක් ඒ රට ගොඩනැඟීමේ සැලැස්ම හදන්නේ ඉතිහාසයේ දියුණු ශිෂ්ටාචාරයත් එක්ක. අපේ වාරි කර්මාන්තය ගොඩනැඟුණු ඒ වාරි ශිෂ්ටාචාරය දිහා හොඳින් බලන්න. 

අද ගෙවන්න බැරි අමුතු ජාතියේ පොලීවලට ජනතාව හිර වෙලා. එදා මහ බැංකු මුදල් මණ්ඩලයේ  සාකච්ඡාවක් මම ඉල්ලුවා. හිටපු ඇමැති මංගල සමරවීර මහතා මට ඒ අවස්ථාව ලබාදුන්නා. මම ඒ මොහොතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පොලිය 60% පනිනවා නේද කියලා ඇහුවා. මම එහෙම කියද්දී මහ බැංකු නිලධාරීන්  කිව්වා 60%න් බේරෙනවා නම් හොඳයි ඒක 120% දක්වා  වැඩිවෙනවා කියලා. ඔන්න ඕකයි තත්ත්වය. ක්ෂුද්‍ර  මූල්‍ය ණයවලින් ගොඩක් අය හිරවෙලා. ඒ වගේම සියලු ක්ෂේත්‍ර බිඳවැටිලා. 

ඇමෙරිකානු ඩෝල් සමාගමට රටේ පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල ඉඩම් කීයක් විකුණලද? ඒ වගේම චීනයෙන් හාල් මෙටි්‍රක් ටොන් 2000ක් ඉල්ලනවා. මහින්ද ඒවා ලැබුණු ගමන් හැරුණු තැපෑලෙන් ස්තූති කරනවා. මියන්මාරයට ගිහිල්ලා හාල් ගේනවා. ආයෙ ස්තූති කරනවා. එහෙම තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ.

 අද මෙතැන ජනාධිපතිවරණය මහ මැතිවරණය වෙනුවෙන් ගෝඨාභය මහින්දට ඡන්දෙ දීපු අය ඉන්නවා නේද? අපිට මුණගැසෙන්න ඕනෑත් ඒ ඡන්දෙ දීපු විශාල පිරිස. ඒ අය විශාල පිරිසක් අද අපි එක්ක ඉන්නවා. දැන් ඒ අය මුණගැහිලා අපි කතා කරන්න ඕනේ. මීට පෙර සංවිධාන පක්ෂ වෙනුවෙන් කැපවුණු ඒ අය එක වේදිකාවකට ගෙන ඒමට අපි කටයුතු කරන්න ඕනි. නගරයේ රාජ්‍ය ආයතනවල තත්ත්වය හොඳයි. හැබැයි රාජපක්ෂලා හැමදාම කප් ගැහුවෙ ගමේ ගොවියා පාවිච්චි කරලා. ජාතිය  අනතුරේ කිව්වා. ආගම අනතුරේ කිව්වා. අපි පොහොර දෙන්නම් කිව්වා. මේවා කියලා තමයි ගොවි ජනතාව රැවැට්ටුවේ. වාර කිහිපයක් රාජපක්ෂලාට ආණ්ඩු හදන්න වැඩිම දරදිය ඇද්දේ ගොවියා. 

අලුත් යහපත් පාලනයක් වෙනුවෙන් ගමේ අනිත් අයට කතා කරන්න. තවත් මහන්සි වෙමු. 

අද මඟුල් මුද්දත් විකුණලා ගෙදරට කන්න දෙන්න වෙලා නම් මොකක්ද මේ රට? එක අවුරුද්දක් තුළ 3,000ක පිරිසක් සියදිවි හානි කරගන්නවා. වැඩි හරියක් ආර්ථික පීඩනය නිසා. ඒ වගේම කාබනික පොහොර ගැන කතා කරන්න ඕනේ. කාබනික ගොවිතැනට ක්‍රමානුකූලව යා යුතුයි. කවුරුත් කාබනික වගාවට අකැමැති නැහැ. නමුත් මේ කන්නයේ මෙහෙම හරි වී අස්වැන්නක් ලැබුණේ ගෝඨාභයගේ කාබනික අටමගල හින්දා නෙවේ. මීට කලින් හංගගෙන තිබුණු පොහොර ටික හින්දා. 

එදා මහ පොළොවෙන් මතුවුණා කියපු  මෛත්‍රි. අන්න කොළඹ පූට්ටු ගෙදරට වෙලා සැපට ඉන්නවා. ඒ වගේම මහ බැංකු කොල්ලකද්දී ඒක බලන් හිටපු  හම්බන්තොට වරාය විකුණද්දි බලන් හිටපු සජිත් ගම්වලට ගිහිල්ලා බයිලා කියනවා. යාල සත්තු බලන්න යනවා. අලි මන්ත්‍ර කියනවා. මෙහෙම කට්ටියට රටක් හදන්න බෑ. 

මේ  රටේ වංචා දූෂණ ඔක්කොම ලිස්ට් කරලා තියාගන්න. අපි ළඟ ඒ ලිස්ට් තියෙනවා. ශිරන්‍ති නෝනට, යෝෂිත නාමල් රාජපක්ෂලාට රට පුරා තියෙන ඉඩම්, මිලදී ගත්ත ඉඩම් ඔප්පු තිරප්පු 35ක් මා ළඟ තියෙනවා. ඒ වගේම ටොරින්ටන්වල ගෙවල් ශිරන්ති රාජපක්ෂ අරන් තියෙනවා. ඒ මහජන දේපළ කොල්ලකාලා ගත්ත ඒවා. 

ඒ වගේම අලි සබි්‍ර දවසක් පාර්ලිමේන්තුවේ කිව්වා ගෝඨාට නඩු 35ක් තිබුණා කියලා. හැබැයි ඔහු ජනාධිපති වුණාට පස්සේ ඔහුගේ ජනාධිපති නීතිඥවරයාම කියනවා ජනාධිපතිට විරුද්ධව නඩු කියන්න බැහැ මුක්තිය තියෙනවා කියලා. මේ ගෝඨාගේ නඩු නැවත විභාගයට ගන්න පුළුවන්. ජාතික ජන බලවේගය එය අනිවාර්යයෙන්ම කරනවා. ඒ නඩු විභාගයට ගන්නවා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 1100ක් සජිත් ගසාකාලා. 

සජිත් ආරක්ෂා කරන්නේ ගෝඨාභය. සජිත්‍ට නිකම් හරි ‘ගෝඨාභය’ කියන්න කට අරින්න බැරි ඒකයි. මල්වාන ඉඩම් නඩුව ගැන සාක්ෂි නැහැ කියලා නඩුව අවසන් කළා. එහෙම පුළුවන්ද? මේ දූෂිත ආණ්ඩුව පලවා හැරිය යුතු නැද්ද?

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

 මේ  ආණ්ඩුව නිසා ගොවියා අන්ත අසරණ වෙලා. මහ කන්නය සම්පූර්ණයෙන්ම මස්තබාල්දු කළා. යල කන්නයට ඊට වඩා ප්‍රශ්න ඇවිත්. පොහොරත්  නැහැ. වතුරත් නෑ. ගොවීන්ට වන්දිත් නෑ.  රුපියල් හතළිස් දාහක සාමාන්‍ය වන්දියක් ගන්න පුළුවන් වුණෙත්  අපි 2017 – 2018 කරපු ගොවි සටනින්. ඒකත් මේ ආණ්ඩුව කැපුවා. දැන් අක්කරයක් හාන්න  රුපියල් 18,000ක් යනවා. භූතයන්ගෙන් කොළ මඩින්න  රුපියල් 15,000ක් යනවා. භූතයාට ගහපු මේ ආණ්ඩුවට මහසෝනා ගහන දිනය  වැඩි අෑතක නෙමේ. වෙනදට අපි සටන් කළේ සහන ඉල්ලලා. ඒත් මේ තක්කඩි ආණ්ඩුවට දැන් සහන දෙන්න බෑ. අපි අද ආණ්ඩුවට කෙළින්ම කියන්නේ ගෙදර යන්න කියලා. දස දහස් ගණන් ගොවි ජනතාව ඉදිරියේ අපි කියනවා ගියෙ නැත්නම් ආණ්ඩුවේ  කනෙන් ඇදලා එළියට දානවා කියලා.

අද  පුංචි දරු පැටවුන්ට  අවුරුදු සමරන්න නැහැ. පොඩි උන් ඉල්ලන දේ දෙන්නෙ කොහොමද මේ බඩු මිලත් එක්ක?  සතොස පරිප්පු දෙන්නෙ ග්‍රෑම් 500යි. ආණ්ඩු හදන්නත්, ආණ්ඩු කඩන්නත් ගොවියෝ තමයි මැදිහත් වුණේ. ගොවියා තමයි රටේ අති බහුතර ඡන්දදායකයන්. ආණ්ඩුව අහිංසක ගොවියා දාම් ඉත්තෙක්  බවට පත් කරගත්තා. උඹල ඔක්කොම එකට පූට්ටු කරලා පස්ස පැත්තට පයින් ගහලා එළවන්න අපි ලෑස්තියි. 

 ඒ වගේම අපේ උදාහරණයක් තියෙනවා ගලක් කඩන්න මිටි පාරවල් සීයක් ගහන්න ඕනේ නම් ඒ ගල කඩන්න පුළුවන් සියවැනි මිටි පහරෙන්ම තමයි. ආණ්ඩුව දැන් බොරුවට ගොවි ජනතාව ගැන කිඹුල් ක¾දුළු හෙළනවා. 1992 වසරේ පාකිස්තානයටත් පොහොර යවපු රටක් මේ.  අපිට අද පොහොර ඇටයක් ගන්න ඩොලර් නෑ. රටටම කෙළවලා ඉවරයි. මේ පක්ෂ දෙකම මේකට වගකියන්න ඕනෑ.

ගෝඨාභය, මෛත්‍රි, සජිත්, රනිල්, මහින්ද මේ ඔක්කොම එළවන්න ඕනි. මේ ඔක්කොම ගොවියට පොලු තියපු අය. සේනා දළඹුවන්ගෙන් හානි වෙච්ච ගොවීන්ට මේ වනතුරු වගා වන්දියක් නෑ. සල්ලි බැඳලා රක්ෂණ  ගත්තු  ගොවියට පවා පොලු තිබ්බා. ගොවි විශ්‍රාම වැටුපට දායකත්වය දුන් ගොවීන් තව 9,56,223ක් හිටියා. ඒ ගොවි විශ්‍රාම වැටුප මේ ආණ්ඩුව අහිමි කළා. අපි ආණ්ඩුවට විරුද්ධව නඩු දැම්මා. අවුරුදු දෙකක ගොවි විශ්‍රාම වැටුප් හිඟ මුදල ගෙවලා නෑ. මෛත්‍රි, සජිත්, රනිල්, ගෝඨා, මහින්ද මේ එකෙක්වත් මේවා ගෙවලා නැහැ. හිඟන ආණ්ඩු. අහිංසක ගොවියට ලබාදෙන රුපියල් සීයෙන්  පනහක් විතර කපාගන්නවා. ලැජ්ජයි. අද තෙල් ටිකක් බූලියට ගන්න  පෙර අවසර පත්‍රයක් ගමේ ග්‍රාමසේවකගෙන්  ගොවි සංවිධායකගෙන් ගන්න ඕනෑ. ඒ අවසරය අරන් යද්දි තියෙන තෙල් ටිකත් ඉවරයි. ඒ වගේම පහුගිය ආණ්ඩු යටතේ හාල් මෝල් කීයක් වැහුවද?  යහපාලන ආණ්ඩුව කාලේ ගොවීන් කීයක් වස බීල මැරුණද? මේ දිගුවේ පිපිරීමේ අවසානය අපි අත්විඳින්නේ. තල වපුරලා කවදාවත් මුං ගන්න බැහැ.

 අපි අක්කරේකට රුපියල්  ලක්ෂයක වගා වන්දියක් ඉල්ලුවේ හේතුවක් ඇතිව. මෙවර ආපදාවලින් වන සතුන්ගෙන් හානියක් වුණේ නැහැ. හානියක් වුණේ ගෝඨාභය, මහින්දානන්ද, කැබිනට් මණ්ඩලයේ දෙපා සතුන්ගෙන්. මේ කකුල් දෙකේ සත්තු නැති කළ හානියට කිසිම වන්දියක් නෑ. අපි කියනවා මේ ගොවියාට වන්දි ගෙවිය යුත්තේ මේ හොරුන්ගේ පෞද්ගලික  බූදල්වලින්. පැන්ඩෝරාවලින් උපයපු,  උගන්ඩාවට සල්ලි යවපු, චීනෙට වන්දි ගෙවපු ඒවගෙන්  ගොවීන්ට වන්දි ගෙවපල්ලා කියලා  අපි අවධාරණය කරනවා. 

උෟව වෙල්ලස්සේ ඉඩම් අයිතීන් සුරැකීමේ ජාතික සංවිධායක  ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න 

“එදා හිටපු කාලිංග මාඝ  වෙනුවට අද අපිට ඉන්නවා නන්දසේන මාඝ කියලා කෙනෙක්. රුවන්වැලි සෑය ළඟ  දිවුරුම් දීලා බලයට ආවෙ. හැබැයි කන්න දුන්නු බත් පතට වැලි දාපු මේ නන්දසේන තවත් බලයේ තියාගන්න ඕනෑ නෑ එලවා දැමිය යුතුයි. කන්න දීපු අත හපා කාපු නන්දසේන  ඔයා දැන්  ගෙදර  යන්න. කරගැට දාපු  අත්වලින් ඡන්දය දුන්න ගොවියටත් නන්දසේන පස්ස හැරෙව්වා. පර්සි මහින්ද රාජපක්ෂ, නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වක්කඩෙන් අත හෝද ගෙනයි බලයට ආවේ. ජාතියේ ආඩම්බරකාර තාත්තා මමයි කියලා මහින්ද කිව්වා.  ජනතාව කන්න බොන්න නැතිව පෝලිමේ ඉන්නවා. ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ පුතා මාලදිවයිනේ දිය කෙළිනවා. 

ලංකාවේ හොරකමේ පියවරු රාජපක්ෂ පවුල. ජාතික ආපදාවක් වූ  සුනාමියෙන්  දහස් ගණනක් මියගියා. සුනාමි සල්ලි හොරාකාපු ආඩම්බරකාර තාත්තෙක්. හොරුන්ගෙ ෆයිල් හංගගෙන හිටපු ආඩම්බරකාර තාත්තෙක් මේ. එයාගෙ නෝනගේ සිරිලිය පදනම නෙමෙයි හොරලිය පදනමින් කොච්චර මුදල් ගසා කෑවද. ඒ වගේම බැසිල් මල්ලිගෙ නෝනා පුෂ්පා රාජපක්ෂ හොර ගුහාවක්. මේ ආණ්ඩුව ඇන්ටිජන්  කට්ටලයෙන් පවා ගසා කෑවා. ජාතියේ ආඩම්බරකාර තාත්තලා වෙන කවුරුත් නෙවේ, අපි ඔබලයි.

මේ හොරකම් කළ ජාතියේ පියාගේත් ඒ  පවුලේත් සල්ලි ඔක්කොම අපි නැවත භාණ්ඩාගාරයට ගේනවා. ඔබ දන්නවනේ කොටළුවා හැදෙන්නේ අශ්වයා බූරුවා සංවාසයේ යෙදුණම. මේ ආණ්ඩුවත් කොටළු ආණ්ඩුවක්. මේ ජන පීඩක ආණ්ඩුව පලවා හරින්න ඕනෑ. මේ ආණ්ඩුවෙන් සහන ඉල්ලලා වැඩක් නෑ. උන්ට කරන්න පුළුවන් හොරකම් කිරීම විතරයි. 

 එදා කිරිබත් කද්දී හාල් කිලෝව රුපියල් හැත්තෑවයි. දැන් හාල් කිලෝව කීයද? (ආ… දෙසීයද.) අපිට දැන් ඉතිරි කරලා තියෙන්නේ මළ බත විතරයි. අපි උඹලට මළබත උයන්න දෙන්නේ නෑ. උඹලා පන්නනවා. රටේ  ගෙවල්වල,  පෝලිම්වල අම්මලා තාත්තලා ක¾දුළු සලනවා. ගෝඨාභය,  මහින්ද සජිත්, රනිල් උඹලට මේවා පේන්නේ නැද්ද? පෙරදිග ධාන්‍යාගාරය  කිව්වා මේ රටේ බලයේ ඉන්න සාටක  කල්ලිය මියන්මාරයට ගිහින් හාල් ටිකක් දෙන්න බැරිද අහනවා. බංග්ලාදේශයට ගිහින්  තෙල්  ටිකක් ගන්න ඩොලර් ටිකක් දෙන්න බැරිද අහනවා. බලය රැකගන්න ඉතිරි ජාතික සම්පත් ටිකත් විකුණනවා. 

මේ රට හදන්න පුළුවන් ජාතික  ජන බලවේගයට පමණයි.  මේ පණිවුඩය මුවින් මුව ගමින් ගමට අපි අරගෙන යමු.