කිඹුලා ඇළේ ගුණාගේ ගෝලයකු මත්ද්‍රව්‍ය රැසක් සමඟ බ්ලූමැන්ඩල්හිදී STF දැලේ

0
22


තරිඳු නානායක්කාර

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වන කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙක් විවිධ වර්ගයේ විස මත්ද්‍රව්‍ය රැසක් සමඟ පෙරේදා (28දා) විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 

බ්ලූමැන්ඩල් පොලිස් වසමේ රෙඩ්බානා ඇළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 13ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක්, කේරළ ගංජා ග්‍රෑම් 22ක් සහ තවත් මත්පෙති 160ක්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගත් බවට සැක කරන රුපියල් එක්ලක්ෂ පන්දහස් දෙසීයක මුදලක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට යොදාගෙන ඇති ජංගම දුරකථන 3ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කර ඇති මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 වියැති පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.