කන්නත්තොට-හත්මත්ත වත්තේ කම්කරු පවුල් 22ක් ස්ථිර ගෙවල් ‍ෙදාරවල් නැතිව අපාදුක් විඳිති

0
12

රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්නත්තොට, හත්මත්ත වත්තේ ලැයිම් කාමරවල වාසය කරන කම්කරු පවුල් 22ක් ස්ථිර නිවාස නොමැතිව අපමණ දුක් ගැහැටවලට මුහුණ පා සිටිති.

මල්වත්ත වැවිලි සමාගමට අයත් මොරලිය වතුයායෙන් පාලනය වන මෙම වත්තේ ඉංගී්‍රසි පාලන සමයේදී රබර් වගා කර ඇත. එහිදී කම්කරු පවුල්වලට වාසය කිරීම සඳහා 1929 වර්ෂයේදී ගොඩනැඟිල්ලක් ඉදිකර තිබේ. අඩි 130ක් පමණ දිගින් හා අඩි 60ක් පමණ පළලින් යුත් මෙම ගොඩනැඟිල්ල මැද බිත්තියකින් දෙකට බෙදා දෙපසට ලයින් කාමර සකස් කර තිබේ. කුඩා කාමරවල එවැනි ලයින් කාමරවල පවුල් 14ක් වායස කරති. ඒ හැර එම බිම් කොටස තුළ ලෑලි ගසා ඉදිකර ඇති කුඩා නිවෙස් තුළ තවත් පවුල් හයක් වාසය කරති.

මෙහිදී එකී පවුල්වලට මුහුණ පෑමට සිදුවී ඇති දුක්ගැහැට පිළිබඳව එම වත්තේ පදිංචි රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු වන පී. රාමචන්ද්‍රන් මහතා මෙසේ කීය.

නිවාස ප්‍රශ්නය මේ පවුල්වලට තදින්ම බලපානවා. දැනට ඇති ලයින් කාමර ඉතාම අබලන්. පවුල්වල සාමාජිකයන් වැඩි වුණාට ඔවුන්ට ඉන්න තැනක් නැහැ. එම නිසා එක ලයින් කාමරයක පවුල් දෙක තුනකම අය සිටිනවා. එසේම පාසල් යන ළමයින් වගේම වැඩිහිටියන්ද මේ කාමරවල සිටිනවා. එනිසා ඔවුන් ජීවත් වන්නේ හරිම පීඩනයකින්.

2009 වර්ෂයේ සිට මේ නිවාස ගැටලුව විස¼දාලීමට උත්සාහ  ගත්තා. වැවිලි සමාගමෙන් ස්ථිර නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් මැනලා භූමියක් වෙන්කරලයි තිබෙන්නේ. ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ද දැනුවත් කළා. රාජ්‍ය නිලධාරීන් වගේම කම්කරු සංගම්ද දැනුවත් කළා. නමුත් නිවාස ඉදිකිරීම සඳහා තවමත් ප්‍රතිපාදන වෙන්කර නැහැ.

වත්තේ පදිංචි එස්. සන්දනම් මහතා, මා මේ වත්තේ පදිංචි වැඩිහිටි දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්. අප වාසය කරන මේ ගොඩනැඟිල්ල වසර සියයක් පමණ පරණයි. මට මතක හැටියට එක්වරක් පමණයි සෙවිලි කළ ටකරන් මාරු කළේ. දැන් ඒ ටකරන් දිරාපත් වෙමිනුයි තිබෙන්නේ. එසේම ආසන්නයේ ඇති විශාල ගසක මුල් නිසා ගොඩනැඟිල්ලේ බිත්තිද ඉරිතළා ගොස් තිබෙනවා. එනිසා සැකයෙන්, භීතියෙන් යුතුවයි අප මේ වන විට ජීවත් වන්නේ. එනිසා අප ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ස්ථිර නිවාස ඉදිකර දෙන ලෙසයි.

එස්.මාරියායි මහත්මිය මෙසේ පැවැසුවාය. මගේ ලයින් කාමරයේ නව දෙනෙක් සිටිනවා. විවාහක පුතයි, දුවයි හා ඔවුන්ගේ දරුවන්ද රැය පහන් කරන්නේ මේ කුඩා කාමරය තුළයි. මේ කාමරයේ බිත්ති දෙක හාවන තැන දිගටම පුපුරා ගොස් තිබෙනවා. ගසේ මුල් ගිහින් තමයි එසේ හානිවී තිබෙන්නේ. එනිසා කුමන මොහොතක හෝ කඩා වැටෙයි කියන බයකින් තමයි අප ජීවත් වන්නේ. එසේම ළමයින් ඉගෙනීමට දක්‍ෂයි. නමුත් නිදහසේ පාඩම් කරන්නවත්, ඉඩකඩක් නැහැ. අපේ ජීවිත දැන් තිබෙන්නේ අනතුරක. එනිසා විපතක් වීමට පෙර අපට නිවාස ඉදිකර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

වී. සිරිකුමාර් මහතා පැවැසුවේ මෙසේය. 

මගේ පවුලේ හය දෙනෙක් කුඩා ලයින් කාමරයක ජීවත් වෙනවා. පුතා විවාහකයි. ඔහුට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඉඩෝර කාලයේදී නම් බයක් නැහැ. නමුත් වැසි කාලයේදී නම් භයානකයි. ඒ කාලයේදී බිත්තිවලින් ගල් ගැලවී වැටෙනවා. එසේම පොළව යටින් වතුර මතු වෙනවා. ඒ වෙලාවට හරිම දුකක් විඳිනවා. බඩුමුට්ටු තබාගැනීමටවත් මේ කාමරයේ ඉඩක් නැහැ. ඒ නිසා අපි අපා දුක් විඳිනවා. අපට නිවාස හදලා දෙන ලෙස නොකියපු කෙනෙක් නැහැ. නමුත් තවමත් විසඳුමක් නැහැ.

පීඩාවට පත්වී සිටින වත්තේ කම්කරු පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිතුමාද දැනුවත් කර ඇති බවත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පහව ගිය පසු ඊට විසඳුමක් ලැබෙන බවට විශ්වාස කරන බවත් මෙහිදී මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් මංජුල මහතා පැවැසීය.

රුවන්වැල්ල – එස්.ආර්. සමරක්කොඩි