ඊයේ නැවැත්වූ රුසියානු ගුවන් ගමන් යළි අරඹයි

0
15


අනුරාධා හේරත්

ශ්‍රී  ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී  ලංකාව හා  රුසියාව අතර පෙරේදා (28දා) සිට අත්හිටුවූ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය. 

රක්ෂණ ආවරණ ගැටලුවක් හේතුවෙන් අත්හිටුවූ මෙම ගුවන් ගමන් සඳහා  විකල්ප රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව ඇමැතිවරයා කීය.

මෙය ශ්‍රී  ලංකා රජය විසින් ගනු ලැබූ තීරණයක් නොවන අතර ශ්‍රී  ලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර සිදුවීමක් හේතුවෙන් අදාළ ගුවන් සමාගමට මුහුණපෑමට සිදු වූ තත්ත්වයක් ඊට බලපා ඇති බව ඇමැතිවරයා  අවධාරණය කළේය.  රුසියාව හා ශ්‍රී  ලංකාව අතර සෘජු ගුවන් ගමන් අත්හිටුවීම රජයට සිදු වූ බලපෑමක් නිසා වූවක් බවටත් එය රුසියාවට එරෙහිව ගත් තීරණයක් බවටත් පළවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද රණතුංග මහතා කීය. ශ්‍රී  ලන්කන් ගුවන් සමාගම ශ්‍රී  ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ පසුගිය වසරේ ජූලි 31 වැනිදාය. 

සතියකට ගුවන් ගමන් වාර 2ක් කොළඹ හා මොස්කව් අතර ඒ අනුව ක්‍රියාත්මක කෙරිණි.  ශ්‍රී  ලන්කන් ගුවන් සමාගම ක්‍රියාත්මක කළ කොළඹ – මොස්කව් සෘජු ගුවන් ගමන් පසුගිය (28දා) සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කෙරිණි.

 ශ්‍රී   ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා රක්ෂණය කර ඇති බි්‍රතාන්‍ය ගුවන් සමාගම රුසියාවට ගමන් කරන ශ්‍රී  ලන්කන් ගුවන් යානා රක්ෂණය අවලංගු කිරීමට ගත් තීරණය ඊට හේතුව බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.