ඉන්ජිනේරුවන්ගේ මාෆියාව හේතුවෙන් සූර්ය බලාගාර වැඩපිළිවෙළ අඩාල වෙලා

0
41


මේ වන විට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොමැතිකමින් දෛනිකව සිදුකෙරෙන විදුලි කප්පාදුව නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් මෙම ගැටලුවෙන් ගොඩඒම සඳහා එකම විසඳුම පුනර්ජනනීය බලශක්තිය මඟින් විදුලි උත්පාදනය කිරීමට යොමුවීම බවත් ඒ මහතා කීය.

මහනුවරදී ඊයේ (29දා) මාධ්‍ය හමුවක් පවත්වමින් ධර්මසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

සාගර තරංග, සුළං සහ හිරු එළිය මඟින් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බවත් මෙම ස්වාභාවික සම්පත් තුනම අප රට සතු බවත් කී ඒ මහතා රට මෙතරම් දරුණු තත්ත්වයකට ඇද වැටී තිබෙන්නේ මේවායින් ප්‍රයෝජන නොගැනීම නිසා බවද අවධාරණය කළේය.

සූර්ය පැනල වහල මත සවි කිරීම වෙනුවට පොළොව මත සවි කිරීම සඳහා වන වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් එය ක්‍රියාත්මක වුවහොත් අක්කර 4,000ක පමණ භූමියක ගස් කපා ඉවත් කිරීමට සිදුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

එක ගමකට එක බලාගාරයක් නමින් විදුලි බල මණ්ඩලය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ට්‍රාන්ස්ෆෝමර් 7,000ක් මේ වන විට වෙන්කර තිබෙන බවත් කී ඒ මහතා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවරු ක්‍රියාත්මක කරන මාෆියාවට වැට බැඳිය යුතු බවද අවධාරණය කළේය.

පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීමට 2019 වසරේ ආසියානු සංවර්ධන බැංකුව 4%ක පොලියට ණයක් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙරට බැංකු පද්ධතිය  හරහා සිදුකළ බවත් මෙම ණය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිත ලිපියක් අවශ්‍ය බවත් කී ඒ මහතා මණ්ඩලය මඟින් එම ලිපිය නිකුත් නොකරන බවද පැවැසුවේය.

තමන්ගේ  මුදල් වැයකර සූර්ය පැනල සවිකර ගැනීමට පාරිභෝගිකයන් 3,000ක් පමණ විදුලිබල මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇති බවත් ඔවුන් කිසිවකුටත් අදාළ අනුමැතිය නොදීම බරපතළ ගැටලුවක් බවත් ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

සංගමයේ සභාපති මහේෂ් ඉලංගන්තිලක මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ, රජය විසින් ක්‍රියාත්මක සූර්ය බල සංග්‍රාමය කුඩා සූර්ය බලාගාර දස ලක්‍ෂයක ජාතික වැඩසටහන විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ මාෆියාව හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවය. තමන්ගේ නිවෙස්වලට සූර්ය බල විදුලිය ලබාගෙන ඇති මෙම විදුලි ඉන්ජිනේරුවන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නිවෙස්වලට එම වාසිදායක තත්ත්වය ඇති කිරීම සඳහා බාධා එල්ල කරන බවද ජනාධිපතිතුමන් මෙන්ම අගමැතිතුමන්ද පසුගියදා අදාළ නිලධාරීන් ගෙන්වා පුනර්ජනනීය විදුලිබල උත්පාදනය සඳහා ජනතාවට පූර්ණ දායකත්වය ලබාදෙන ලෙස උපදෙස් ලබා දුන්නත් විදුලිබල ඉන්ජිනේරුවන්ගේ මාෆියාව මේ සඳහා  ඉඩ ලබා නොදෙන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් කුට්ටි නොලැබෙන නිසා බවය.

මෙම පුනර්ජනනීය විදුලි උත්පාදන ක්‍රමවේදය සඳහා තමන්ට හා ශ්‍රී  ලංකාවේ පුනර්ජනනීය විදුලිබල භාවිතය අපේක්‍ෂාවෙන් සිටින ජනතාවට අවස්ථාව ලබාදෙන්නේ නම් මේ අර්බුදකාරී අවස්ථාවේ මෙගාවොට් 300ක විදුලිබල ධාරිතාවක් මෙරට විදුලිබල පද්ධතියට එක් කිරීමට සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් කීය. සංගමයේ ලේකම් භාතිය අමරකෝන්ද මෙහිදී අදහස් දැක්වීය.

මහනුවර – කේ.එල්. සුරවීර