අභිමානවත් 40 වැනි සංවත්සරය සැමරූ ලිබර්ටි මෝටර්ස්

0
38


“පසුගිය කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් රට අගුළු දැමීමත් සමඟ ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් හිඟවුණා. යතුරුපැදි අමතර කොටස්වලටද මෙය දැඩිසේ බලපෑවා. ඒ වෙලාවෙ අපි දැක්කේ තමන් ළඟ තිබුණු  භාණ්ඩවල මිල වෙළෙඳපොළ තුළ අසීමිතව ඉහළ දැමීමක්. හුඟ දෙනෙක් ඒක කළා. මම ඒක කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. නමුත් අපි ළඟ තිබුණු යතුරුපැදි අමතර කොටස්වල මිල  කිසිම ආකාරයකින් වැඩි කළේ නෑ. ඊට හොඳම සාක්ෂි දරන පිරිස අද අප ඉදිරියේම සිටිනවා. රටක් ජනතාවක් අමාරුවෙ වැටුණු වෙලාවට ඒ මත පිනුම් ගහන එක අපේ අරමුණ නොවෙයි. එයින් පටු අරමුණු ඉටු කර ගැනීමට යෑම ඉතා නරක ක්‍රියාවක්” මෙම වචන පෙළ අපට අසන්නට ලැබුණේ රත්නපුර ලිබර්ටි මෝටර්ස් අධිපති ලුතුෆි රවුෂාන් මහතාගෙනි.

පසුගිය දා කොළඹ මරින බේච් හොටෙල්හිදී පැවැති රත්නපුර ලිබර්ටි මෝටර්ස් සේවක පාරිභෝගික ප්‍රසාද සම්මාන ප්‍රදානෝත්සවයේදී ලිබර්ටි මෝටර්ස් අධිපති ලුතුෆි රවුෂාන් මහතා කළ කතාව උත්සවයට පැමිණි මැති ඇමැතිවරුන් හා සම්මානලාභීන්ගේ හදවත මොහොතකට නතර වුණු තරම්ය. 

දශක හතරක් මුළුල්ලේ රත්නපුර පුරවරයේ පාරිභෝගික ජනතාවගේ මෙන්ම, සේවකයන්ගේ සහ නියෝජිතවරුන්ගේ හිත දිනාගෙන කටයුතු කිරීම ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස විය යුතුයි.

මෙම සම්මාන උළෙලේදී මෙහිදී  මෝටර් කාර්මික ශිල්පීන් හැට දෙනකුට රන් සම්මාන,කාර්මික ශිල්පීන් එකොළොස් දෙනකු සඳහා බැංකොක් සවාරියක්, තවත් මෝටර් කාර්මික ශිල්පීන් හැට දෙනකු වෙත කාර්මික උපකරණ බෙදාදීම, රන්කාසි සහ පාසල් දරුවන් විසිපස් දෙනකුට පාසල් උපකරණ ඇතුළු මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණි.

“මගේ යාළුවො කියනවා පාරිභෝගික හා සේවක සුබසාධනය වෙනුවෙන් වැය කරන මුදල යොදවල හොඳ වාහනයක් ගන්න පුළුවන්නේ කියලා. ඇත්තටම මම මේ සම්මාන උළෙල වෙනුවෙන් වසර තුනකට වරක් වෙන් කරන මුදල අති විශාලයි. මම තාම යන්නෙ එන්නෙ මීට අවුරුදු දහයකට ඉස්සෙල්ල ගත්ත ප්‍රීමියෝ කාර් එකක. මට ඒක ඇති. ජීවිතයට මහා විශාල බරක් එල්ලගෙන කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි පොතේ දාගෙන හිටියට අපි ජීවත් වෙන්නෙ ඉතාම කෙටි කාලයයි. ඒ හින්දා අපි පුරුදු වෙන්න ඕන සරල ජීවිතයක් ගත කරන්න. ඒක තමයි මගේ දැක්ම” යනුවෙන් තවදුරටත් එතුමා පැවැසීය.

කිසිවකුගේ අවධානයෙන් ගිලිහුනු මෝටර් කාර්මික ශිල්පීන් කොළඹ තරු පන්තියේ හෝටලයකට ගෙන්වා සියලු පහසුකම් ලබා දී සිදු කළ මෙම කාර්යය  කාගේත් අවධානයට යොමු විය.

කම්කරු ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා අපනයන සංවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්, අසංක නවරත්න යන මහත්වරුන්, ලිබර්ටි මෝටර්ස් එන්ටප්‍රයිසස් ආයතනයේ සභාපති ලුතුෆි රිෂ්වාන් සහ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.

අටකලන්පන්නේ තරිඳු උදයශාන්ත