අද සිට දුම්රිය ගාස්තු ඉහළට

0
26


තරිඳු නානායක්කාර

නව දුම්රිය ගාස්තු සංශෝධනයන් අද (30දා) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම පැවැසීය.

ඒ අනුව මෙතෙක් තුන්වැනි පන්තියේ පළමු කිලෝමීටර් 10 සඳහා අය කළ රුපියලයි සත තිහක ගාස්තුව රුපියල් දෙක දක්වා වැඩිවන බවත් හෙතෙම කීය. දුම්රිය සඳහා වැයවන ඉන්ධනවලට අදාළ මුදල් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් වසරකට බිලියන 04ක පමණ පාඩුවකින් මේ වන විටත් දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව ඇමැතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.

කෙසේ නමුත් ‘මව්බිම’ කළ විමසීමකදී අද දිනයේ සිට ගාස්තු සංශෝධනය කළ නොහැකි බවත් නව ගාස්තු සංශෝධනයන් පිළිබඳව තවමත් දුම්රිය ස්ථාන දැනුවත් කර නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව ඇති නිර්ණායකයන් තවමත් පරීක්ෂාවට ලක් කරමින් පසුවීම හේතුවෙන් කුමන අයුරකින්වත් අද දිනයේ ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට නොහැකි බව හෙතෙම කීය.