35 වැනි වතාවට සිරිපා කරුණා කරද්දී නඩේ ගුරා හෘදයාබාධයකින් මරුට

0
20


කහවත්ත _ එල්. නිරෝෂණ

මැදමුලන සිට ශ්‍රී පාද වන්දනාවේ ගිය 76 හැවිරිදි නඩේ ගුරකු ළිහිණිහෙල අසලදී හෘදයාබාධයක් සෑදී මියගොස් ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී හෙළි විය.

මැදමුලන, පල්ලේමුලන පදිංචි ලියනගමගේ සිරිසේන නම් 76 හැවිරිදි අයගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා 27 වැනිදා රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවැත්විණි. 

රත්නපුර හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කළේය.  

මියගිය තැනැත්තා මැදමුලන ප්‍රදේශයේ පුද්ගලයන් 36 දෙනකු සමඟ වන්දනා නඩයට නායකත්වය දෙමින්  රත්නපුර – පළාබද්දල මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ  ගොස් ඇති බව හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.   

ඔහු ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඇත්තේ 35 වැනි වතාවට බවත් ඉන් තිස් වතාවක් නඩේ ගුරකු ලෙස වන්දනා කර ඇති බවද මරණ පරීක්ෂණයේදී හෙළි විය.  

ළිහිණිහෙල අසලදී රෝගී වූ මෙම පුද්ගලයා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබිණි. 

මියගිය තැනැත්තා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටියදී ශ්‍රී පාද වන්දනාවේ ගොස් ඇතැයිද එවැනි පුද්ගලයන් වෙහෙස මහන්සිය ඇතිවෙන මෙවැනි වන්දනා ගමන් යෑමෙන් වැළකී සිටිය යුතු බව හදිසි මරණ පරීක්ෂකවරයා පැවැසීය.