හාල් කිලෝවක් ගන්න වත්කමක් නැති අපට කැලේ ගිහින් අල ජාති හාරගෙන කන්න වෙලා

0
35


පවතින ආර්ථික අර්බුදය හමුවේ හාල් කිලෝවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයට ආදිවාසී ජනතාව පත්ව ඇති බවත් මේ දිනවල කුලී වැඩ නොමැති නිසාත් අඛණ්ඩව පැය කිහිපයක් විදුලිය කැපීම නිසාත් විදුලියෙන් වැඩ සිදුකරන ආයතනවලට කම්කරුවන් ලෙස වැඩට නොගන්නා මට්ටමක් උද්ගතවී ඇති බවද දලුකාන ආදිවාසී නායිකාව වන  තිදරු මවක වන 58 වියැති කේ. ලිසී නෝනා මහත්මිය සඳහන් කළාය.

 කුඹුරු ඉඩම්ද නොමැති දිඹුලාගල කොට්ඨාසයේ දලුකාන, යක්කුරේ, ඉහළ යක්කුරේ, ඇල්ලේවැව මහදමන, කුඩාවැව, කොළකන වාඩිය ඇතුළු ගම්මාන 8ක තම ආදිවාසී පවුල් 4,400කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් අදහස් දැක්වූ කේ. ලිසී නෝනා මහත්මිය මෙලෙසද සඳහන් කළාය.

“අපි දැන් දින දෙක තුනක ඉඳලා  දිඹුලාගල  කන්දේ වගේම කැලෑවල්  පීරලා කටුවල හොයාගෙන ඇවිල්ලා තම්බලා තමයි පොල් කෑල්ලක් එක්ක දරුවන්ට දුන්නේ. අල වර්ග, කොළ වර්ග, කැලෑ ගෙඩි වර්ගවලින් අපේ ආදි මුතුන්මිත්තෝ බඩ පුරවා ගත්තා. අලුත් පරපුරේ අය බත් කාලා හුරුවෙලා, තුන්වේලටම බත් කන්න ඕනේ. ඒත් හාල් කිලෝවක් ගන්න තරම් අපිට වත්කමක් නෑ. අපිට කුඹුරු ඉඩම් නෑ. ඒ නිසා දලුකාන ගම්මානයේ ආදිවාසී පවුල් අටක්, නවයක්, විතර මේ දිනවල කැලෑවල ගිහිල්ලා, දිඹුලාගල කන්දේ ගිහිල්ලා කෑමට සුදුසු හැම අල වර්ගයක්ම හාරාගෙන ඇවිත් මේ දින දෙක තුන ජීවත් වුණේ. රජයෙන් කියලා අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ. අපි අපේ දුක්ගැනවිල්ල ආදිවාසී නායක ඇත්තන්ටත් ඉදිරිපත් කළා. හෙට, අනිද්දා අපිට කියලා අවුරුද්දක් එනවා. මේ දරුවන්ට කිරිබත් කෑල්ලක්වත් කන්න හාල් ටිකක් අපිට නැහැ. අලුත් ඇ¾දුමක් ගන්න විදිහක් නෑ. අපි ඉල්ලා සිටිනවා පුළුවන්නම් රජයෙන් අපිට මොනවා හරි සහන දෙන්න කියලා.” තම වර්ගයාගේ  දුක් ගැනවිල්ල ආදිවාසී නායිකාව ඉදිරිපත් කළාය.

“මහත්තයෝ අපි ගෑස් පෝලිම්වල නම් යන්නෙ නෑ. අහල පහළ කැලේට ගිහිල්ලා දර මිටියක් ගෙනැවිල්ලා තමයි ළිපේ තියෙන දෙයක් උයාගෙන කන්නේ. සමහර අය මොනරාගල කුලියට බඩඉරිඟු කඩන්න යනවා. දැන් ඒවත් නැහැ. ඉතිං පුළුවන්නම් අවුරුද්දට අපිට අපේ දරුවන් එක්ක සතුටින් ඉන්න යම්  සහන මල්ලක් දෙන්න කියලා මේ රටේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා” යැයිද ලිසී නෝනා මහත්මිය හඬා වැලපෙමින් සඳහන් කළාය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආදිවාසී ජනතාව මුහුණදී සිටින තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ දලුකාන ගම්මානයේ සිවුදරු පියකු වන 70 වියැති  රෝසප්පුගේ පුංචි බණ්ඩා මහතා 

අපේ තාත්තලා, අම්මලා ඉස්සර කැලෑ පොජ්පේ මංගච්චල තමයි අල පොජ්ජ කොටා බෑවේ, දැන් ඉන්න කැකුළු කැකුළියන්ට අල, කොළ, ගෙඩි කොටා බාලා පුරුදු නෑ. එවුන්ට තුන් වේලම බත් තමයි ඕනේ. ඉතින් මම හාල් කිලෝවක් රුපියල් දෙසීයකට අරන්  ඇවිල්ලා උන්ට එක් වේලක් කන්න දීලා කටුවල කන්නත් පුරුදු කරනවා. අපිත් දැන් ආයෙත් ඒ කාලෙට  හුරුවෙලා කැලෑ කොළ, අල කාලා කොහොම හරි ජීවත් වෙන්න ඕනේ. වස විස නැති නිසා අපිට ලෙඩ දුක් නෑ. කැලෑ කොළ, ගෙඩි, අල කාලා ඉන්න කොට ආයුෂ වැඩි වෙනවා. මට දැන්  අවුරුදු 70ක් වෙනවා. කිසිම ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් පෙත්තක් බීල නෑ. අපේ අම්මලා, තාත්තලා ඒ කාලේ දුන්නෙ මේ කැලෑ කොළ ගෙඩි තමා. අපි ඉල්ලා සිටිනවා  ආදිවාසී ජනතාව ගැන  මීට වඩා සැලකිල්ලක් දක්වලා කුමන හෝ සහනයක් දෙන්න.

මනම්පිටිය _ නිමල් ජයරත්න