‘හරිත දැයක්’ අද හෝමාගමින් අරඹයි

0
17


සවනි ශේශාධි

රාජ්‍ය ආයතන, පාසල්, යුද හමුදා කඳවුරු හා බන්ධනාගාරවල ඇති හිස් ඉඩම්ද උපයෝගී කර ගනිමින් ‘හරිත දැයක්’ නමින් ජාතික ගෙවතු වගා සංග්‍රාමය අද (29දා) ආරම්භ කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පැවැසීය.

මේ වන විට තම අමාත්‍යාංශය රාජ්‍ය අංශයේ ඇති පාවිච්චියට නොගන්නා ඉඩම් පිළිබඳව වාර්තාවක් සකස් කොට ඇතැයිද හෙතෙම පැවැසීය.

ප්‍රාදේශීය සභා,  පාසල්, බෞද්ධ සිද්ධස්ථාන, යුද හමුදා කඳවුරු, බන්ධනාගාර ඇතුළු තවත් රාජ්‍ය ආයතන ගණනාවක ඉඩම් බොහෝමයක් මුඩු ඉඩම් බව හෙළි වී ඇතැයිද ඔහු කීය.

අමාත්‍යාංශ ලේකම්වරයා මේ පිළිබඳව සොයා බලා වාර්තාවක් සකසා ඇති නිසා එම ඉඩම්වලින්ද ප්‍රයෝජනයක් ගත හැකි අයුරින් මෙම වගා සංග්‍රාමය ක්‍රියාවට නංවන බවද  ඇමැතිවරයා සඳහන් කළේය.

හෝමාගම, කහතුඩුව ග්‍රාමයේ පැවැත්වෙන එහි ජාතික වැඩසටහනට සමගාමීව එම වේලාවටම මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331හිම උත්සව පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

පර්චස් 20ට අඩු භූමි ප්‍රමාණයක් හිමි පිරිස් මේ වැඩසටහනට ඇතුළත් කරගෙන ඇතැයිද හෙතෙම කීය.

එක පවුලකට බීජ වර්ග පැළ වර්ග හතරක් සහිත කට්ටලයක් ලබා දෙන බවද  ඔහු පැවැසීය.

එවන් පවුල් මිලියන 22ක් හ¾දුනාගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේදී අක්කර දෙලක්ෂ හැත්තෑ පන්දහසක් වගා  කෙරෙන බවද හෙතෙම කීය.

පැළ තවාන් ‍ෙදාළොස් දහසක් සම්බන්ධ කර ගනිමින් මේ සඳහා අවශ්‍ය පැළ වර්ග ලබාගෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය අද (29දා) උදෑසන 9.18ට හෝමාගම කහතුඩුව ග්‍රාමයේදී ආරම්භ කිරීමට නියමිතය. 

වත්මන් ආර්ථික අභියෝග හමුවේ දේශීය ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට ගෘහස්ථ මට්ටමින් ජනතාව දායක කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස  මෙය ක්‍රියාවට නැංවෙන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක  ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පැවැසීය.

ගෙවතු පවුල් ලක්ෂ 22ක් ඉලක්ක කර ගනිමින් එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් එක් ග්‍රාම නිලධාරී වසමක එක ගෙවත්තක අද දිනයේදී මේ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සැලසුමකට අනුව ක්‍රියාවට නැංවෙන මේ වැඩපිළිවෙළින් සෑම ගෙවත්තක්ම වැඩබිමක් බවට පත් කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවැසීය.

එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු පලතුරු නිවෙසේම වගා කර ගැනීමට මේ ඔස්සේ හැකි වන බවද ඔහු පැවැසීය.

එම අස්වැන්නේ අතිරික්තය මිලදී ගැනීමටත් යම් වැඩපිළිවෙළක් සකසන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වගා නොකරන සෑම බිම් අඟලකම වගා කිරීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබා දීමටත් ක්‍රියා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

ගෙවත්තේ වගා බිම සකසා ගැනීමට රුපියල්  දෙදහසක මුදලක් ලබා දෙන බවත් හෙතෙම කීය.