සශ්‍රීකත්වයේ බලාපොරොත්තු මැද ගාල්ල දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍ය

0
25

ගාල්ල – කමල් විජේහේවා

ගාල්ල දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍යය පසුගිය දින (24දා) වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මානවිල ශ්‍රී  ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේදී ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වලහන්දුව ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් මෙම උත්සවය අභිමානවත් අයුරින් සංවිධානය කොට තිබිණි. පුෂ්පෝපහාර පෙරහර වලහන්දුව ගොවිජන සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වී මානවිල ඛෙත්තාරාම විහාරස්ථානය දක්වා ගමන් කරනු ලැබීය. දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමේ නර්තන අංගවලින් අලුත් සහල් මංගල්‍යය වර්ණවත් වී තිබිණි. මෙම උත්සව අවස්ථාව සඳහා මානවිල ශ්‍රී  ඛෙත්තාරාම විහාරාධිපති දැරංගල උදිත, මාතලේ සෝභිත යන හිමිවරුන් වැඩමකොට සිටියහ.

හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චානක සම්පත් මාදුගොඩ, අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්.එස්. ප්‍රියන්ජන්, අක්මීමන ප්‍රාදේශීය ලේකම් පූර්ණිමා අබේසිරිගුණවර්ධන, බද්දේගම ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.කේ. සත්‍යානන්ද, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හේමපාල වර්ෂ විතාන, වලහන්දුව ගොවිජන සංවර්ධන  ප්‍රාදේශීය නිලධාරි එච්.කේ.ජේ. සඳමාලි යන මහත්ම මහත්මීන්, වලහන්දුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට  අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, ගොවි සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.