ශාක හා සත්ත්ව කොටස් සමඟ සිංහරාජයේදී අත්අඩංගුවට ගත් ජර්මානුවෝ දෙන්නා රිමාන්ඩ්

0
17


උෟරුබොක්ක _ අතාවුද පතිරණ

සිංහරාජ රක්ෂිතයටම ආවේණික සත්ත්ව හා ශාක කොටස් ඇතුළු වෙරළබඩ තීරයේ ජීවත්වන මුහුදු සත්ත්වයන් අල්ලා හොරා රහසේ ජර්මනියට රැගෙන යෑමේ ජාවාරමක නිරතවූ බවට අඩවි ආරක්ෂක නිලධාරීන් සහ දෙණියාය පොලිසිය එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ජර්මන් ජාතිකයන් දෙදෙනා පෙරේදා (27දා) සවස මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු අජිත් ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණි. සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් කඩොලාන විශේෂ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් සත්ත්ව කොටස් වනජීවී දෙපාර්තමේන්තුවටත් යවා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ජර්මනියේ පදිංචි පෙල්ඩන් ඩැනිල් (52) සහ පෙල්ඩන් ක්ලම්ප් (47) යන ජර්මන් ජාතිකයන් දෙදෙනා වෙති.

දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්දන අමරරත්න මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් පො.සැ. රූපසිංහ (19277) මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති මෙම දෙදෙනා දෙණියාය සිංහරාජ කුරුලුගල මංපෙතේ සංචාරය කිරීමට පැමිණ සිංහරාජයට ආවේණික සත්ත්ව හා ශාක කොටස් හා කඩොලාන විශේෂ ඇතුළු ඒ සඳහා යොදාගන්නා ලද උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ඔවුන් සතුව තිබි සොයාගත් බවයි.

සිංහරාජ අඩවි ආරක්ෂක නිලධාරි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩබ්ලිව්. ඩී. ජයලාල්, සත්ත්ව නියාමක එස්.එම්.පී.පී. ප්‍රසන්න, සත්ත්ව නියාමක ඒ.පී. එස්.එම්. දිල්ශාන්, ස්වේච්ඡා මාර්ග උපදේශක ඩබ්ලිව්. එම්.සී. මධුශංඛ ඇතුළු මිරිස්ස වනජීවී කාර්යාලයේ නිලධාරීන්, දෙණියාය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්දන අමරරත්න මහතා, පො.සැ. රූපසිංහ (19277), පොකො. ළහිරු (78909), පො.කො. ප්‍රදීප් (78906), පො.කො. බණ්ඩාර (30644), පො.කො. රණවක (10241), පො.කො. බණ්ඩාර (97891) ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් වැටලීම කර ඇත.