ශ්‍රී ලංකා-රුසියා ගුවන් ගමන් අත්හිටුවයි

0
20


දසුන් රාජපක්ෂ,කටුනායක _ ටී.කේ.ජී. කපිල

ශ්‍රී  ලංකාව හා මොස්කව් නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (28දා) සිට අත්හිටුවා තිබේ. මේ වන විට රුසියාවට පනවා ඇති සම්බාධක, මෙරට සිට රුසියාව බලා ගමන් ගන්නා ගුවන්යානා සඳහා ඍජු බලපෑමක් එල්ල කර ඇති බැවින් රුසියාව දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවූ බව ශ්‍රී  ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේය.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ශ්‍රී  ලන්කන් ගුවන් සමාගම මොස්කව් වෙත සිදුකෙරෙන ගුවන් ගමන් නවතා දමන බවද සඳහන් කළේය.

රුසියාවේ තත්ත්වය යහපත් වූ සැණින් එරටට සිදු කරන ගුවන් යානා මෙහෙයුම් නැවත ආරම්භ කරන බවද එම සමාගම ප්‍රකාශ කරයි. 

ශ්‍රී  ලන්කන් ගුවන් සේවය මෙම අත්හිටුවීම සිදුකිරීමට පෙර කොළඹ සහ මොස්කව් අතර සතිපතා ගුවන් ගමන් දෙකක් පවත්වාගෙන ගියේය. 

ශ්‍රී  ලන්කන් ගුවන් සේවය, රුසියාවේ මොස්කව් නුවර කරා සිදුකෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එහි ආයතනික සන්නිවේදන අංශය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

දැනට රුසියානු යුක්රේන යුද ගැටුම් නිසා ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය සහ රක්ෂණ ආයතන රුසියාවට එරෙහිව පනවා ඇති සීමාවන් මෙසේ ගුවන් ගමන් අත්හිටුවීමට හේතු වී තිබේ. මෙම ගුවන් ගමන් අත්හිටුවීම නිසා තම ගුවන් මගීන්ට සිදුවන අපහසුතාව ගැන ශ්‍රී  ලන්කන් ගුවන් සේවය සිය කනගාටුව ප්‍රකාශ කර සිටී. ශ්‍රී  ලන්කන් ගුවන් සේවය, රුසියාවේ තත්ත්වය අධීක්ෂණය කරමින් සිටින අතර, තත්ත්වය යහපත් වූ සැණින් යළිත් මොස්කව් නුවර කරා ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. මෙම ගුවන් ගමන් අත්හිටුවීමට පෙර ශ්‍රී  ලංකාව සහ  රුසියාව අතර සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක වී පැවැතිණි.

එමෙන්ම ශ්‍රී  ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේද රුසියාවයි.