ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයෙන් ඕස්ට්‍රේලියානු දඟයා ඉවත් වෙයි

0
18


ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී  ලංකා තරග සංචාරයෙන් සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා ඉවත්ව ඇති බව වාර්තා වේ. 

කෙසේ වෙතත් මේ වන විට එක්දින සහ විස්සයි-20 තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු පිල සමඟින් පාකිස්තානයට ගොස් සිටින ඇඩම් සැම්පා එම තරගාවලියෙන් අනතුරුව මාස 3ක කාලයක් විවේකයක් ලබා දෙන ලෙස එරට ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවද සඳහන්ය. ඒ අනුව එළැඹෙන ජුනි මාසයේදී ඇඩම් සැම්පාගේ බිරිය සිය කුලුඳුල් දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවීම හේතුවෙන් සැම්පා මෙලෙස මාස 3ක කාලයක ක්‍රිකට් විරාමයක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද දැක්වේ. 

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැම්පා සඳහන් කර තිබුණේ මෙවැන්නකි. “වර්තමානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තම ක්‍රීඩාවෙන් මාස ගණනක (මාස 3ක් වැනි කාලයක්) විරාමයක් ලබා ගැනීම ඉතාමත් විරල තත්ත්වයක්.  මේ අවස්ථාවේදී මම උපරිම කාලයක විවේකයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වෙන පන්දු සියය ක්‍රිකට් තරගාවලියේදී මම නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවනවා.”

එමෙන්ම තම තීරණය ගැන තවදුරටත් අදහස් පළ කර ඇති සැම්පා “මේ සම්බන්ධයෙන් මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි සමඟින් දිගු සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අනුව ඔහු එයට අවසරය ලබා දෙමින් සඳහන් කළේ මාස 3ක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියද ලෝක කුසලානය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතයේ ස්ථානය තහවුරු කර ගැනීමට මා හට තරග 15ක් ලබා දෙන බවයි. ඒ අනුව නැවතත් ලෝක කුසලානයට තරග වදින ඕස්ට්‍රේලියානු සංචිතයට එක්වීම සඳහා ප්‍රමාණවත් තරග සංඛ්‍යාවක් මට ලැබී තිබෙනවා.” යනුවෙන් පවසා තිබිණි. 

එමෙන්ම කණ්ඩායම තුළ නායකත්වය සහ සෙසු සාමාජිකයන් තමන්ට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන්ද මෙහිදී සඳහන් කර තිබූ ඇඩම් සැම්පා “මගේ ක්‍රීඩා රටාව සඳහා වත්මන් ඕස්ට්‍රේලියානු එක්දින සහ විස්සයි-20 නායක ආරොන් ෆින්ච් සුවිශේෂී සහයෝගයක් ලබා දෙනවා. ඔහු සෑම අවස්ථාවකම මා සමඟින් මගේ තීරණයන්ට සහයෝගය ලබා දෙනවා. එමෙන්ම මම පන්දු යවන අවස්ථාවන්වලදී මගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඕනෑම තරගයකදී අවස්ථාව ලබා දීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් මේ වන විට මම වසර 6ක කාලයක් අඛණ්ඩව ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. එය කිසි ලෙසකින්වත් පහසු කටයුත්තක් නොවෙයි. ඇතැම් විට දැඩි අසීරු අවස්ථාවන්වලට මුහුණදීමටත් මට සිදුව තිබුණා.” යැයිද සඳහන් කර තිබේ. 

ඒ අනුව ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එළැඹෙන ජුනි සහ ජූලි මාසවලදී විස්සයි-20 තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙම තරගාවලිය ඇඩම් සැම්පාට අහිමිව යනු ඇත. 

සටහන – ගමිත දෙහිපිටිය