විදුලිය විසන්ධිය නිසා ශීත කළ ආහාර ගැනීමේදී පරෙස්සම් වන්න

0
15

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර 

නියමිත කාලසටහනට අනුව විදුලිය විසන්ධි නොවීම හා එසේ විසන්ධි කිරීම පැය කිහිපයක් දක්වා සිදුවන නිසා වෙළෙඳසල්වල අධිශීතකරන හා ශීතකරණවල මනුෂ්‍ය පරිභෝජනය වෙනුවෙන් අලෙවි කිරීමට ගබඩාකොට ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු අතර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන්ද ඒ පිළිබඳ සංවේදීව අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මේ දිනවල ක්‍රියාත්මක විදුලිය විසන්ධි වීමෙන් ආහාර ද්‍රව්‍ය දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්වීමේ අවදානම පිළිබඳ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රෝහණ මහතා ඒ බැව් පැවැසීය.

වැඩිදුර අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා.

විදුලි විසන්ධි කිරීමේ කාලසටහන් ප්‍රසිද්ධ කළත් ඒ අනුව නෙවෙයි ක්‍රියාවලිය සිදුවන්නෙ. ඒ නිසා ජනතාව විශාල ලෙස අපහසුතාවට පත්වනවා. බොහෝ වෙළෙඳසල් තුළ විදුලි ජනන යන්ත්‍ර නැහැ. විදුලිය පැය ගණනාවක් විසන්ධි වීම නිසා වෙළෙඳසල්වල මිනිස් පරිභෝජනය සඳහා ශීත ගබඩාවල බහා ඇති ආහාර ද්‍රව්‍යවල පැවැතිය යුතු උෂ්ණත්වය වෙනස්කම්වලට භාජන විය හැකියි. විශේෂයෙන් ශීත ගබඩාවල ඇති ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දැඩි ලෙස අවධානය යොමුකිරීම පාරිභෝගිකයන්ගේ වගකීමක්. ඇතැම් කිරි ආශ්‍රිත ආහාරද්‍රව්‍ය ඉක්මනින් නරක්වන සුලුයි. ඒ නිසා වෙළෙඳ මහත්වරුන්ගෙන් ඉල්ලනවා විදුලිය විසන්ධි වීම නිසා ආහාර ද්‍රව්‍ය නියමිත උෂ්ණත්ව පරාසයේ තබාගැනීමට නොහැකිවුණා නම් මේ මොහොතේ තම පාරිභෝගිකයා වෙනුවෙන් සංවේදී වී ඒවා අලෙවි කිරීමෙන් වළකින ලෙස. එවන් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීමෙන් ජනතාව පාචනය ආදී විවිධ රෝගාබාධවලට මෙන්ම දීර්ඝකාලීන රෝගවලට ලක්විය හැකියි.

අපි දිගින් දිගට වෙළෙඳසල් පරීක්‍ෂාවට ලක්කරනවා. සුදුසු තත්ත්වයෙන් පවත්වාගෙන යනවාද ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ගබඩාකර ඇත්ද යන්න සුපරික්‍ෂාකාරීව බලා එසේ නොමැති ස්ථානවලට 1980 අංක 26 දරන ආහාර පනත ප්‍රකාරව නෛතික කටයුතු කර පාරිභෝගිකයන් ආරක්‍ෂා කරන්න අපි බැඳී සිටිනවා යැයි පැවැසීය.