ලෝක වෙළෙඳපොළේ අපේ තේවලට තියෙන තැන පොල්වලටත්

0
13


නිර්මාණි ගුණරත්න

මෙරට තේවලට තිබෙන වෙළෙඳ නාමය හා සමානම දැවැන්ත වෙළෙඳ නාමයක්  මෙරට පොල්වලටත් ලොව පුරා ලැබෙමින් තිබෙන බව වැවිලි ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවැසීය. 

පසුගිය වසරේදී පමණක් පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන අටසිය තිස් හයක විදේශ විනිමයක් උපයා තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 

ඉදිරි වසර පහක කාලය තුළදී පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන්  ඇමෙරිකානු ඩොලර් මිලියන  1.5ක මුදලක් ඉපයීමට අපේක්ෂා කරන බවද ඔහු ඊයේ (28දා) පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.

මෙරට පොල් පිලිපීනයේ  හා ඉන්දුනීසියාවේ වගා කරන පොල්වලටත් වඩා රසවත් යැයිද මෙම වසර තුළ පොල් පැළ මිලියන හයක් නිපදවීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය.

එමෙන්ම බළපිටිය, කොස්ගොඩ, කරිජ්ජපිටිය, වෙල්ලන්ගොඩ ප්‍රදේශයන්හි වී වගා නොකරන පුරන් කුඹුරුවල සෝජාන් ක්‍රමය යටතේ  පොල් සහ තැඹිලි වගා කිරීමට සැලසුම් සකස් කර ඇති බවද හෙතෙම පැවැසීය.

පොල් හා තැඹිලි වගාවට අමතරව එහි අතුරු වගාවක් ලෙස අන්නාසි, කෙසෙල් හා එළවළු වගා කිරීමටද තීරණය කළ බවද කී ඇමැතිවරයා ජල ගැටලු කළමනාකරණය කර ගනිමින් සහ පරිසරය ආරක්ෂා කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස තමන් උපදෙස් දුන් බවද පැවැසීය.