ලග්ගල දේවාලයකින් පත්තිනි දේව ප්‍රතිමා 2ක් සොරාගෙන

0
11


මාතලේ – හේවා පී. කරුණාරත්න

ලග්ගල කරගහතැන්න පත්තිනි ඓතිහාසික දේවාලයෙන් මිල කළ නොහැකි පත්තිනි දේව ප්‍රතිමා දෙකක් සොරාගත් හින්දු භක්තිකයකු 27දා රත්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු දන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සොරාගත් දේව ප්‍රතිමා දන්කන්ද ප්‍රදේශයේ දේවාලයක සඟවා තිබියදී සොයාගත් රත්තොට පොලිසිය වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. 

සැකකරුගේ සහායකයා පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රත්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඩබ්.ජී. දිසානායක මහතා පැවැසීය. පිළිම සොරකම සඳහා යොදාගත් ත්‍රිරෝද රථයද පොලිසිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ලග්ගල පොලිසියට භාරදී තිබේ. 

රත්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච්.එච්. ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන් වනසිංහ (8763) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.