රැල්ලේ නැළවුණු පොහොට්ටුව සුනාමියකින් ගසාගෙන යනවා

0
19


රාජපක්ෂලාගේ පොහොට්ටුවට රට තුළ පැවැති රැල්ල අවසන් බවත් ඉදිරියේදී පැමිණෙන සුනාමියකින් පොහොට්ටුව සේදී යන බව සහතික යැයි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රි ගාමිණී ද සිල්වා පවසයි. 

හෙතෙම මේ අදහස් පළ කළේ වෑතර, මඩපාත ඩොමින් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ද සිල්වා මහතා

මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය නිසා ශ්‍රී ලනිපය දෙකඩ කරලා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ නමින් අලුත් පක්ෂයක් හදන්න හැකි වුණා. ඡන්ද තුනක්ම ඉහළින්ම ජයග්‍රහණය කළා. ශ්‍රී ලනිපය හා එජාපය පමණක් නොවේ ජවිපෙ පහළටම ඇදගෙන වැටුණා. එහෙත් එදා පොහොට්ටුවට තිබුණ රැල්ල දැන් ඉවරයි. ඉදිරියේදී පොහොට්ටුව සුනාමියකට හසු වී සෝදා පාළු වී යන බව විශ්වාසයි. එජාපයට අත්වූ ඉරණම පොහොට්ටුවට අත්වුවහොත් පුදුම වෙන්න දෙයක් නෑ.

පොහොට්ටුවෙන් කැඩිලා යළි ශ්‍රී ලනිපයට ඒමේ ප්‍රවණතාවක් තිබෙනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පවා ශ්‍රී ලනිපයට එකතු වෙමින් සිටිනවා. මේ වෙලාවේ ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙලා විපක්ෂයේ අසුන් ගත්තා නම් වඩා හොඳයි. ආසන සංවිධායකවරුන් ඒකමතිකව කැමැත්ත පළ කළ ආණ්ඩුවෙන් ශ්‍රී ලනිපය ඉවත් විය යුතුයි කියලා. ඒත් ඇමැතිකම් දරන සමහරු අකැමැතියි ‘ධුරය’ දාලා එන්න. 

ඉදිරි මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර ආසන ගණනක් දිනාගන්න වෙන්නේ නෑ. හවුල් ආණ්ඩුවකට යන්න වෙනවා. එතැනදී ශ්‍රී ලනිප ශක්තිමත්ව පෙරට පැමිණියහොත් එවැනි ආණ්ඩුවකට වැඩි දායකත්වයක් දිය හැකියි.

අද ජනතාව අන්ත අසරණ වෙලා. තෙල්, ගෑස් පෝලිම්. බඩු මිල ඉහළ ගිහින්. සමහර බඩු ගන්නත් නෑ. විදුලි බිල, දුම්රිය ගාස්තු පවා ඉහළ යෑමට නියමිතයි. මිල පාලනයක් නෑ. වෙළෙඳපොළ පාලනයක් නැතිව ඉබාගාතේ යමින් තිබෙන්නේ. බංකොලොත් රට මේ වනවිට අරාජික තත්ත්වයට පත්වෙලා.

යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල වුණත් ඒ ආණ්ඩුව රටට යහපත් දේවල් ගොඩක් කළා. විධායක ජනාධිපති බලතල කප්පාදු කළා. තොරතුරු පනත ගෙනාවා. ගිලන් රථ සේවය ඇති කළා. ඔෟෂධ මිල අඩු කළා. ශ්‍රී ලනිපයේ අපේ නායකයා මේ ක්‍රියාමාර්ගවලට ජනාධිපති විදිහට මුල් වුණා. තනි ශ්‍රී ලනිප ආණ්ඩුවක් තිබුණේ නැති නිසා සාර්ථකව කටයුතු කරන්න හැකි වුණේ නෑ. 

ශ්‍රී ලනිපය මේ වනවිට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවිධානය කර තිබෙනවා. රට පුරා දිස්ත්‍රික් සමුළු පවත්වනවා මේ දිනවල. නව ආසන සංවිධායකවරු පත්කර තිබෙනවා. කැස්බෑව ආසනය මට භාර දීම ගැන සතුටුයි. 

මේ තනතුර මට මීට කලින් ලැබිය යුතුව තිබුණා. අපේම අය කකුලෙන් ඇද්ද නිසා එය මට අහිමි වුණා. කැස්බෑව මට අලුත් තැනක් නොවෙයි. මම කැස්බෑවේ ක්‍රියාකාරී දේශපාලනය ඇරැඹුවේ තරුණයකු ලෙස 80 දශකයේ අග. කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙත් මම කටයුතු කර තිබෙනවා. 

2002දී විශාල ඡන්ද කොල්ලයකට මුහුණදීමට සිදුවීම නිසා ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වෙනවා. අනතුරුව පළාත් සභාවට තරග කර ජයග්‍රහණය කරනවා. මම කවදාවත් ශ්‍රී ලනිපය දාලා ගියේ නෑ. පොහොට්ටුවෙන් ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කළා. 

ඉදිරියේදී ශ්‍රී ලනිපය ප්‍රමුඛව  බලවේගයක් ගොඩනැඟීමට මම ඇපකැප වෙනවා. කැස්බෑව ආසනය යළි ජයග්‍රහණය කරා රැගෙන යෑම මගේ අරමුණයි.