රට පැන්න පාතාලයන් දෙදෙනකු සමඟ සබඳතා පවත්වා ගිනි අවි සහ හෙරොයින් සමඟ කොටු වූ දෙදෙනා අධිකරණය හමුවට

0
24

කටාන – බර්ටි වීරසිංහ

කප්පම් ලබාගැනීමේ යෙදුණු බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනකු විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව අත්බෝම්බයක්, මිලිමීටර් 3.8 ජීව උණ්ඩයක් සහ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් සමඟ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ දැවමොට්ටාවේදී පෙරේදා (27දා) අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක

ගිහාන් මනෝහර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකින් පසු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක පොලිස් වසමේ යටියන සහ උන්නාරුවේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 32ක් වයස තරුණයන් දෙදෙනෙකි. 

ඩුබායි රටට පැනගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බව කියන හීනටියන, ගෝනමඩිත්ත ජනපදයේ පදිංචිව සිටි නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් මහේෂ් සහ ගම්පහ කෙහෙල්බද්දර පදිංචිව සිටි මන්දිරුගේ පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේ සමඟ මොවුන් දෙදෙනා සමීප සම්බන්ධතා පවත්වා ඇති බව මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවැසීය.

මීගමුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ සහ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු සඳහා පොලිස් පරීක්ෂක කරුණානායක, පොලිස් සැරයන් චින්තක (49370), පොලිස් කොස්තාපල්වරුන් වන චින්තක (49370), දිසානායක (67021), අමල් (67229), කුලතුංග (82758), බුද්ධික (79452), වන්නිනායක (37928) යන පොලිස් නිලධාරීහු සහභාගි වී ඇත.

 වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සඳහා නඩු භාණ්ඩ සමඟ කටුනායක පොලිසිය වෙත භාරදී ඇති සැකකරුවන් අද (28දා) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.