රජයේ රෝහල් 50ක ලොකු පුටු හිස්

0
18


විනීතා එම්. ගමගේ

රජයේ රෝහල් 50කට අධික සංඛ්‍යාවකට ස්ථීර රෝහල් අධ්‍යක්ෂවරුන් හෝ ස්ථීර රෝහල් අධිකාරිවරුන් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම රෝහල්වල අධ්‍යක්ෂ ධුරයන්හි වැඩ බලන්නේ තාවකාලිකව පත්වී සිටින රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍ය අධිකාරිවරුන් බවත් මේ තත්ත්වය හේතුවෙන් එම රෝහල්වල පරිපාලනය අවුල් වී ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

කරාපිටිය හා මහනුවර ශික්ෂණ රෝහල්, ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල මහ රෝහල් ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක්ද මේ අතර ඇත.

 එමෙන්ම දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් රැසකද සිටින්නේ වැඩ බලන අධිකාරිවරුන් බවත්  කියති.

අවසන්වරට රෝහල් ප්‍රධානීන්ට ස්ථීර පත්වීම් ලබාදී ඇත්තේ මීට වසර පහකට පමණ පෙරදීය.

රෝහල් සඳහා ස්ථීර දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍ය අධිකාරිවරුන්ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන්ද පත්කිරීම් සම්බන්ධයෙන් සකස් කෙරුණු නව වෛද්‍ය සේවා ව්‍යවස්ථාව පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරියගේ සමයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවද ඊට වෛද්‍ය සංගමය විරෝධතාව එල්ලවීම හේතුවෙන් එය සක්‍රිය කිරීම ප්‍රමාද වී ඇතැයි මේ සම්බන්ධව කළ විමසීමකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව කියා සිටියේය.

එකී ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි තත්ත්වයක් උදා නොවන බවද ඔහු සඳහන් කළේය. 

රෝහල් පනහකට වැඩි සංඛ්‍යාවක ප්‍රධානීන් වැඩ බලන තනතුරේ සිටින බව සැබෑවක් දැයි සෞඛ්‍ය  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගෙන් ‘මව්බිම’ කළ විමසුමකදී ඔහු කියා සිටියේ එම ප්‍රශ්නය අප්‍රේල් මාසය ඇතුළත අවසන් කරන බවය.