යල කන්නයේ ගොවීන්ට පොහොර මිටියක් නුදුන්නොත් අපිටත් හයිටියෙ මිනිසුන්ට වගේ කන්න නැති වේවි

0
23

රාජාංගණය – කේ. එම්. චන්දික

“සමහරු කියන්නේ සංවර්ධන ව්‍යාපෘති නතර කරන්න කියලා. එහෙම කළොත් ඒවායෙන් ජීවත් වන පිරිස අසරණ වෙනවා.” යැයි රාජාංගණය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු  මන්ත්‍රි  සමන්ත ජගත්ප්‍රිය  මහතා පැවැසීය.

 රාජාංගණය ප්‍රාදේශීය සභාවේ මාර්තු මස මාසික මහ සභා රැස්වීමේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. රාජාංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ගාමිණී මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී රැස්වීම පැවැත්විණි.

සමන්ත ජගත්ප්‍රිය (පොජපෙ)

රජය ඒ ගැන හිතන්න ඕනි. විපක්ෂ නායකතුමා නිවාස ඇමැති වෙලා ඉන්නකොට ‍නිවාස දෙනවා කියලා බෝඩ් ගැහැව්වා විතරයි. ඒත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කිසිම ශබ්දයක් නැතිව හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම තොරා ගත් අසරණ අයෙකුට නිවෙසක් හදලා දෙනවා. විපක්ෂ නායකතුමාට දැන් තමයි රෝහල් ටිකයි ඉස්කෝල ටිකයි මතක් වෙලා තියෙන්නේ.

නිමල් ජයවීර (ශ්‍රී ලංනි.පෙ)

ඉදිරි යල් කන්නයේදිවත් ගොවියට පොහොර මිටියක් නොදුන්නොත්  හයිටියේ ජනතාවට‍ වගේ අපේ මිනිස්සුන්ටත් කන්න වෙන්නේ බත් වෙනුවට පස්. ඉදිරි යල් කන්නය  සඳහා අප්‍රේල් පළමුවැනිදා රාජාංගණය ජලාශයෙන් වතුර දෙනවා. රජය කියනවා අක්කර තුනකට කොම්පොස්ට් පොහොර කිලෝ 1,000ක් දෙනවා කියලා. හැබැයි තාමත් කිසිම සැලසුමක් නැහැ. මේ විදිහට ගොවියට ඉතිහාසයේ කවදාවත්  අසාධාරණයක් වෙලා නැහැ. එක යූරියා මිටියක් ගොවියට දුන්නානම් මෙච්චර ගොවිතැන වැටෙන්නේ නැහැ. ඉදිරියේදි ඉතිහාසයේ කවදාවත් නැති විදිහට සාගතයක් එන එක වළක්වන්නත් බැහැ. අද විදුලිය ජන ජීවිතයත් එක්ක බද්ධ වෙලා. අධ්‍යාපනය ඇතුළු සියලු ක්‍ෂේත්‍ර ගණනාවක් කඩා වැටිලා. රටේ ප්‍රශ්න වැඩිවෙලා. ඒ අස්සේ සර්වපාක්ෂික සමුළු තියන්න කතා කරනවා.

උප සභාපති සමන් නිල්මිණි වීරසිංහ  (පොජපෙ)

කාබනික පොහොර භාවිත කරන්න කියලා කියන්නේ මරාන්තික රෝග පාලනය කරන්න. කවුරු කොහොම කිව්වත් කාබනික පොහොරවලින් වගාකරපු ගොවියන්ගේ අස්වැන්න ඉහළ ගිහිල්ලා තියෙනවා. රසායනික පොහොර භාවිත කරපු හින්දා අවුරුදු 22-23 තරුණ තරුණියන්ගේ ජීවිත පවා අපිට අහිමිවුණා. පාර්ලිමේන්තුවේ ඉන්න ඇමැති, මන්ත්‍රිවරුයි, සල්ලි තියෙන උදවියයි  කන්නේ කාබනික පොහොරවලින් හදපු එළවළු හා පලතුරු. සංගීත සන්දර්ශනයක් රාජාංගණය යාය 13දි මෙවර පැවැත්වෙනවා. පසුගිය ගංවතුරෙන් සෝදාගෙන ගිය 24 කණුව පාරයි, යාය 14 ඇළ පාරයි හදලා දෙන්න.

නිශාන්ත ගුණවර්ධන (එජාප)

රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවෙලා. පාර්ලිමේන්තුවේ 225 දෙනා යන්නේ අධිසුඛෝපභෝගි වාහනවල. ඒ වාහනයකට කිලෝමීටර් තුනක් දුවන්න එක ඉන්ධන ලීටරයක් ඕනි. ඒවායේ මුදල් ගෙවන්නේ මහජනයා. දුප්පතාට පයින් යන්න කියන ගමන් ඒ අය සුඛෝපභෝගි වාහනවල යනවා. අනවශ්‍ය විදුලි පහන් නිවීම අපේ යුතුකමක්. සූර්ය බලශක්තියෙන් වැඩ කරන විදුලි පද්ධතියක් ගත්තොත් විදුලි අර්බුදයට විසඳුමක් වේවි. ජල ව්‍යාපෘතියට කාපට් පාර හරහා කානු  කපලා මාස 8යි. තාමත් විසඳුමක් නැහැ.

සනී ද සිල්වා (ජවිපෙ)

දැන් අපේ ජනතාව හොඳටම එරිලා ඉවරයි. බෙල්ල ළඟටම හිරවෙලා. ඇඳිවත ගන්නයි, බඩවියත රැකගන්නයි ජනතාවට හොරකම් කරන්න වෙලා. කවදාවත් හොරකම් නොකරපු මිනිස්සු තමන්ගේ දරුවට කන්න දෙන්න හොරකම් කරන්න පුරුදු වෙලා. ජංගම දුරකථන වගේම පරිගණකවල මිල ඉහළයෑම අධ්‍යාපනය ලබන දරුවන්ට විශාල ගැටලුවක් වෙලා තියෙනවා.

එච්.ජී. චන්ද්‍රසිරි (පොජපෙ)

දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ආව ලොකුම යුද්ධය තමයි කොරෝනා. මේ රටේ තිබ්බ හැම විපක්ෂයක්ම මෙච්චර කල් කළේ ජනතාව මෝඩයට අන්දපු එක. පන්දම් පත්තුකරගෙන කරන වැඩේ හින්දා තියෙන ඉන්ධන ටිකත් විනාශ වෙනවා. පවතින ආර්ථික අර්බුදය නිසා අපි පාපැදියෙන් ගමන් යන්න පුරුදු වෙන්න ඕනි. සරල ජීවිතයකට හුරු නොවුණොත් ඉවරයි. මහ බැංකු වංචාවට සම්බන්ධ වුණ සියලුමදෙනා නිදහස් කරලා තියෙනවා. දැන් හොරකම් කරපු කෙනෙක් නැහැ.

සභාපති සරත් ගාමිණි 

කාපට් පාරේ කානු කපලා තියෙනවා. මම මේ ගැන වාචිකවත් ලිඛිතවත් අදාළ ආයතනවලට දන්වලා තියෙනවා. එයාලා කියන්නේ අපිට හදන්නලු මුදල් දෙන්නම් කියලා. සංගීත සන්දර්ශනවලට විනෝද බද්දක් අයකරනවා. එහෙම නොගෙවන අයට අපි අවසර දෙන්නේ නැහැ. නිසි ප්‍රමිතියකට අනුව සකස් කරලා නැති කිසිම පාරකට මුදල් ගෙවන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති නතර කළොත් ඒ ආශ්‍රිතව තියෙන රැකියා නැතිවෙනවා. අත්‍යවශ්‍ය ස්ථානවල තියෙන විථි ලාම්පු හැර අනෙක් ඒවා ක්‍රියාවිරහිත කරනවා. රාජාංගණය සභාවට අයවිය යුතු සියලුම හිඟ ආදායම් එකතු කරන්න වැඩ පිළිවෙළක් හදලා තියෙන්නේ.

සුරංග මහෙෂ් (පොජපෙ)

සංගීත සන්දර්ශනයකට යන්න  ඉස්සර රුපියල් 100 තිබුණම ඇති. ටිකට් එක දැන් රුපියල් 400යි 500යි. හැබැයි ඉස්සරට වඩා ජනතාව ඒවාට යනවා. කියන තරම් රටේ අහෙනියක් තියෙනවා නම් ඒවාට යන්නේ කොහොමද? මේ දවස්වල රාජාංගණයෙත් සංගීත සන්දර්ශන පවත්වන්න විශාල කටවුට් පවා දාලා තියෙනවා. ඒවායෙන් සභාවට මුදල් අයකරමු. කළුන්දෑගම ප්‍රදේශයේ විශාල ගස්වල අතු පාරට නැවිලා තියෙනවා. ලොකු වාහන ගමන්කරන්නෙත් අපහසුවෙන්. අනතුරු වීමට තියෙන ඉඩ වැඩියි. අදාළ ආයතන දැන්වත් කරන්න. කාබනික පොහොරවලින් විතරක් අක්කර තුන් කාලක් වගාකරපු ගොවියකුට  වී බුසල් 100ක් ලැබිලා තියෙනවා. අද ගොවියට වී කිලෝවකට විශාල මිලක් රජය ගෙවනවා. ගොවියගේ අතමිට සරුවෙලා.

විපක්ෂ නායක ආර්.ජී. සෝමසිරි (එජාප)

රාජාංගණයේ පාරවල්වල යන්නම බැරි තත්ත්වයක් උදාවෙලා නැහැ. ඒ නිසා පාරවල් හදන එක පැත්තකින් තියලා ජනතාවට සෙතක් සැලසෙන වැඩක් කරන්න. ජනතාව හැමතැනින්ම පීඩාවට පත්වෙලා ඉන්නේ. නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් අසරණ වෙලා. රෝහල්වල ‍ඔෟෂධ නැහැ. ඉන්ධන පෝලිම්. ගෑස් නැහැ. පොහොර නැහැ. කිරිපිටි නැහැ. ඒ ගැනයි අවධානය යොමු කළ යුත්තේ. පාරවල් හදන සල්ලි යොදවලා ජනතාවගේ මූලික අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන්න. ඉතිහාසයේ කවදාවත් නැති විදිහට විපක්ෂ නායකතුමා රෝහල්වලටයි. පාසල්වලටයි අවශ්‍ය උපකරණ බෙදනවා. ඒක රටටම ආදර්ශයක්. විපක්ෂයක් විදිහට ආණ්ඩුවට පීඩනයක් දෙන්නේ නැහැ.