මේ විදිහට ගියොත් ඩොලරය 450 පනීවි

0
19


කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර

නිසි පරිදි ආර්ථිකය කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේ වසර අවසානයේදී ඇමෙරිකානු ඩොලරය රුපියල් හාරසිය පනහට ළඟාවීම කාහට හෝ වැළැක්විය නොහැකි බව ශ්‍රී  ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවැසීය.

පවත්නා තත්ත්වය කළමනාකරණය කළයුතු ආකාරය පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය. 

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

“අපි පුරෝකථනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේදී පමණ 300ට යාවි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදාවෙලා. මේ යන විදිහට ගියහොත් මේ අවුරුද්ද අග වනවිට ඩොලරය රුපියල් 450න් මෙපිට නවතින එකක් නැතිවේවි.

අපි ආහාර ඇතුළු බොහෝදේ ආනයනය කරන රටක්. රජය ආනයන සීමා කර තිබුණද දළ වශයෙන් ඩොලර් බිලියන 22ක ආනයන සිදුකරනවා. එහෙම බලද්දී ඩොලරය 230 සිට 300 දක්වා වැඩිවීමෙන් අමතර රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ මුදල ගෙවන්නෙත් පාරිභෝගිකයා. මේ වනවිටත් අපේ උද්ධමනය ආසියාවේ වැඩිම උද්ධමනය ලෙසින් වාර්තාගත වී සියයට 17ක් ඉක්මවමින් සිටිනවා.

සර්ව පාක්ෂික සමුළුවේදීත් අපි දැක්කා මහ බැංකු අධිපතිවරයා නිසි වැඩපිළිවෙළක් වෙනුවට හිටපු රජයන්ට, කොවිඩ් එකට, යුක්රේනයට බෝලෙ පාස් කරමින් ඉන්නවා. කොවිඩ් නිසා මෙන්ම රජය ගත් යම් යම් වැරැදි තීරණ නිසා මූල්‍ය විනය පිරිහුණා විතරක් නෙවෙයි අය-වැයේ රාජ්‍ය ආදායම සියයට 25කින් අඩු කරගත්තා.

අපි මේක දැකලා මුලදිම කිව්වා වියදම් පැත්ත අවම කළයුතු බව. ඒත් ඒ පිළිබඳව රජය නෑසූකන් ඇතිව පාරවල් හදමින් දේශපාලනික ප්‍රචාරණ සහිත විවිධ සංවර්ධන වැඩ කළා. ආදායම් වෙනුවට වියදම් වැඩි වුණාම අපිට ණය ගන්න සිදු වුණා. ඒත් මේ වනවිට ණය නොදෙන තත්ත්වයට ඇවිල්ලා. ඒකට හරියන්න රජය ලේසියෙන්ම කළේ දිගින් දිගටම සල්ලි අච්චු ගහන එකයි. ඒ හේතුවෙන් ඩොලරයේ වටිනාකම වැඩි වෙනවා. ආණ්ඩුව එනකොට රුපියල් 180ට තිබුණ ඩොලරය ආණ්ඩුව පාලනය කරන්න හැදුවා. අපි කිව්වා ඩොලරය නිදහසේ තියන්න කියලා. වසර එක හමාරකට මත්තෙන් කියපු ඒ කාරණයට ඇහුම්කන් දුන්නා නම් අදත් ඩොරලරය 230න් නවත්වා ගැනීමට අවකාශ තිබුණා. 

අද වනවිට බැංකු පද්ධතිය කඩාවැටීමට ලක්වෙමින් තියෙනවා. අපේ මේ බැංකු පද්ධතියේ එක බැංකුවක් කඩා වැටුණොත් සමස්ත බැංකු පද්ධතියම කඩාවැටිලා එය අපේ රටේ ආර්ථිකයේ අවසානය වෙනවා. අපි දන්නවා බැංකුවකින් ණයක් ගත්තම පොලිය සියයට 7යි. උද්ධමනය සියයට 17ක් කියන්නේ අපි සෘණ පොලියක් ලබන්නේ. එහෙම යනකොට ජනතාව බැංකුවලින් මුදල් ඉවත් කරගත්තොත් ආර්ථිකය දුවන්න ක්‍රමයක් නැතිවෙනවා.

ජනතාව නීතිය අතට ගන්න ඉතාම ආසන්නයි. අද පොලිසියට පහරදෙන නිසා පිරවුම්හල්වලට හමුදාව යොදවලා. රජය ඩොලර් හිඟය නිසා අහිතකර ගිවිසුම්වලට යන්න, වත්කම් විදෙස් රටවලට දෙන්න මාන බලාවි. ඒත් ජනතාව පාරට බැස්සොත් එය පාලනය කරන්න රජයට නොහැකි වේවි. රජය ගැටලු මත ගැටලු නිර්මාණය කරමින් සිටිනවා. හංගන්න උත්සාහ කරනවා. 

භාණ්ඩ මිල වැඩි වුණාම ඒ පිළිබඳ ජනතාවගේ හඬ මතුකරන්න හෝ ඉඩ නොතියා ඒ භාණ්ඩ හංගනවා. එවිට හඬ නඟනවා වෙනුවට ජනතාව පෝලිම්වල ගිහින් හෝ වැඩි මිලට ඒ භාණ්ඩය හොයන එකයි කරන්නේ. මිනිස්සුන්ට ගෑස් වැඩි වුණ බව අමතකයි. සිහියේ තියෙන්නේ කොහෙන් හෝ ගෑස් ටැංකියක් පුරවා ගැනීම.

ඒ නිසා රජය ගතයුතු තැන්වලදී නිවැරැදි තීරණ ගත්තේ නැති නිසා මෙවන් තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා. දැන්වත් වගකීමෙන් යුතුව ආර්ථිකය පිළිබඳ ගැඹුරින් සිතා තීන්දු තීරණ නොගතහොත් පෝලිම්වල මියැදෙන ජනතාව වෙනුවෙන් කවදා හෝ වගකියන්න වේවි. එම නිසා රජය වගකීමෙන් මේ පිළිබඳව සොයා නොබැලුවහොත් ලිබියාවේ, ජෝර්දානයේ වගේම බහරේන්වල පැවැති තත්ත්වය ලංකාවේ දැකගන්නට හැකිවේවි.”