මේ රටේ දේශපාලනඥයා සහ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි

0
17

එප්පාවල – කුමාර දිසානායක  

රටක් වශයෙන් ශ්‍රී  ලංකාව දියුණුවීමට නම් අනිවාර්යයෙන්ම දේශපාලනඥයා හා දේශපාලන ක්‍රමයද වෙනස්විය යුතු බව මාතලේ දිස්ත්‍රික් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ කලා වැව ආසනයේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ තරුණ බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අමතමිනි. තඹුත්තේගමදී මෙම රැස්වීම පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

2021 වසරේදී අපේ රටේ ජනතාවට සහනාධාර වශයෙන් ලක්ෂ පනස්නව දාහක් (බිලියන 59ක්) බෙදලා දීලා තියෙනවා. අපේ රට තරම් ක්‍රීඩා භාණ්ඩ, බැට් බෝල් බෙදන රටක් මම ලෝකයේ කොහෙවත් දැකලා නැහැ. මුළු ආසියාවෙම තණකොළ කපන්න පුළුවන් තරම් මැෂින් තොගයක් අපේ රටේ ජනතාවට බෙදලා දීලා තියෙනවා. නමුත් ව්‍යවසායකයෝ කොහෙවත් බිහිවෙන්නේ නැහැ. කොයි රජය ආවත් සහනාධාර බෙදන එකේ ඉවරයක් නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේ පවුලක් ඉන්නවා පළමුවැනි සහනාධාරය ගත්තේ ප්‍රේ‍මදාස මහත්තයගේ ජනසවියෙන්. අද වන විට පරම්පරා තුනක දරුවෝ හතරයි මුනුබුරෝ හතරයි. ඒ සියලු දෙනාම අදත් රජයෙන් ලබාදෙන සහනාධාර මතයි යැපෙන්නේ.

සිංගප්පුරුව රට කොළඹ දිස්ත්‍රික්කය වගේ ප්‍රමාණයෙන් ඇති. හැබැයි ඒ රට අපට වඩා වේගයෙන් දියුණු වුණා. සිංගප්පූරුව දියුණු වුණේ සෑම ගෙදරකටම බඩු බෙදලා නෙවෙයි, වැඩකරන රටක් හදලා. දේශපාලනයේ යෙදෙන අගමැතිවරයාගේ, ඇමැතිගේ, මන්ත්‍රිගේ ඉඳලා පාර අතුගාන කම්කරුවා දක්වා සියලුදෙනා රට ගැන හිතලා වැඩකරපු නිසයි අද සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වෙලා තියෙන්නේ.

පසුගිය දවස්වල සාමාන්‍ය පෙළ අසමත් වූවන්ට රැකියා දීමේදී ඒවා ලබාගත් අය අපට ඇවිදින් කියනවා පාරේ වැඩට දාලා තියෙන්නේ ඒවා කරන්න ලැජ්ජයි කියලා. දුප්පත්කමට වැඩිය, බඩගින්නට වැඩිය ලැජ්ජාව ප්‍රබල වන රටක් මේක. මේ මානසිකත්වය නැතිකර ගන්නකල් රටක් වශයෙන් දියුණුවෙන්න අපට බැහැ. අද කෙල්ලෝ, කොල්ලෝ පෝලිමේ ගිහින් පාස්පෝට් හදාගෙන රට ගියාට පස්සේ විශ්‍රාම වැටුපක් ලැබෙනවද, ලැබෙන රස්සාව හොඳද, නැද්ද කියලා බලනවද. හැබැයි තමන් ඉපදුණු රටේ ඉඳන් පොහොසත් වෙන්න මානසිකත්වයක් හදාගන්න අපට තවම බැරිවුණා. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ විදේශ රටක. මම එහිදී අධ්‍යාපනය ලබන ගමන් වේටර් වැඩෙත් කළා, කෑම ජාති හැදුවා, සුපර් මාකට් එකේ වැඩ කළා. එහෙම කළා කියලා මගේ කිසිදෙයක්  නැති වුණේවත් අඩු වුණේවත් නැහැ.

අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා කීවට එය හිතේ තියෙන සංකල්පයක් බවට පත්වෙලා. ටියුෂන් පංතියේ උගන්වන්නේ පාසලේ පන්තියේ ඉන්න ගුරුවරයාමයි. විනාඩි හතළිහක් තුළ දරුවෝ තිස්පහකට උගන්වන්න බැරි ගුරුවරයා දරුවෝ දාහකට මයික් එකක් දාගෙන උගන්වනවා. මවුපියොත් කිසිම ලැජ්ජාවක් නැතිව ඒ පන්තියටම තමන්ගේ දරුවා දාලා උගන්වනවා. පන්තියේදී ගොඩදාගන්න බැරි දරුවා ඒ ගුරුවරයාගේ ටියුෂන් පන්තියට ගියාම ගොඩදාගන්න පුළුවන් කියලා අපේ රටේ ආකල්පයක් ගොඩනැඟී ඇතැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරුමැද හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන් යන මහත්වරු ඇතුළු දේශපාලාඥයන් රැසක් සහභාගී වී සිටිහ.