මිතුරන් එක්ක නාන්න ගිය සිසුවාගේ සිරුර අමුණක පාවෙයි

0
15


කහවත්ත _ එල්. නිරෝෂණ

මිතුරන් තිදෙනකු සමඟ දිය නෑමට ගිය 15 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුර පැල්මඬුල්ල, බත්ගංගොඩ, උඩුතුල ප්‍රදේශයේ අමුණක තිබී ඊයේ (28දා) පෙරවරුවේ සොයාගෙන තිබේ.

තෙදිනකට පෙර ක්‍රිකට් තරගයකට යන බව නිවෙසට පවසා මෙම සිසුවා නිවෙසින් ගොස් ඇතැයි පැල්මඬුල්ල පොලිසිය පැවැසීය. සිසුවාගේ සිරුර දිය අමුණක තිබී හමුවෙන තෙක් ඔහුගේ අතුරුදන් වීම ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව පැල්මඬුල්ල පොලිසියේ නිලධාරියකු පැවැසීය.

පැල්මඬුල්ල ප්‍රදේශයේ මහ විදුහලක දහ වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි මද්දුමගේ තිසර රුවන් නම් සිසුවකු මෙලෙස මියගොස් තිබේ.

ඔහුගේ මරණය ගැන රත්නපුර අපරාධ ස්ථානාගාර පොලිස් ඒකකයද විමර්ශන සිදුකළ අතර පැල්මඬුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. පැල්මඬුල්ල පොලිසියේ ස්ථානාධිපති ධම්මික බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරේ. පශ්චාත් මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.