මා කිසි විටෙක රජයේ දේපළ පෞද්ගලීකරණයට ඉඩ දෙන්නේ නෑ

0
13


අද  ගුරු වෘත්තියට බඳවාගන්නේ උපාධිධාරීන්. ඒ නිසා  ගිරාගම ගුරු විද්‍යාලය අභාවයට ගොස් තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සතු මෙම දේපළ යටිනුවර දරුවන්ට ජාතික පාසලක් ලබාදීමට යෙදවීම  වරදක්ද?  කිසිවිටකත් මා රජයේ දේපළ පෞද්ගලීකරණයට ඉඩදෙන් නෑ.   වතුරකුඹුර පාසලේ ගුරු නිවාසය ගරාවැටිලා. විශාල කොස්ගස් හා හපුගස් කපාදමා දැව කොටන් 30ක් පමණ දිරාපත් වෙනවා. මේවා දැව සංස්ථාවට  ලබාදී  මුදල් කළ යුතුයි. නැතිනම් ජාතික අපරාධයක්. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි රජයේ ඉඩම් වල්බිහිවීමට නොදී බිම් අඟලකම වගා කළ යුතු යැයි වසන්ත යාපා බණ්ඩාර මහතා මාර්තු මස යටිනුවර  ලේකම් කාර්යාලයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.   

දෙනුවර අධ්‍යාපන කාර්යාලය අද ලස්සනට පවත්වාගෙන යනවා. එහි වගාකර තියෙනවා. මා නව අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වයට අපේ කලාපයේ පාසල්ද පත්කරන ලෙස. එසේ වූවොත් පාසල් දරුවන්ද කෘෂිකර්මයට යොමු වේවි. ‍ෙදාඩම්වල ශ්‍රී නාථ දේවාලයට යන මාර්ගය අවහිර වන පරිදි බැම්මක් බැඳ තිබෙනවා. දේවාලය සතු ඉඩම් කාටවත් අයිති නෑ. නමුත් ඔහු ප්‍රකාශන ඔප්පුවක් සාදාගෙන තිබෙනවා. එය කූට ලේඛනයක්. බස්නායක නිලමේවරයා මෙය රැකගැනීමට කටයුතු කළ යුතුයි. දියවඩන  නිලමේතුමාට දන්වා යවමු. නමුත් මේ ගැන   පොලිසියට බස්නායක නිලමේ පැමිණිලි කර නැහැ. එය රැකගැනීම ඔහුගේ යුතුකමක්.  මේ ගැන පොලිසිය සොයා බලා කටයුතු කරන්න.

සිරිසේන මහතා – (හිටපු පළාත් සභා මන්ත්‍රි)

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ බස්   නැවතුම ව්‍යාපාරිකයෙක් ගලවා ඉවත් කරලා. ලක්ෂයකට වැඩි පොදු දේපළක් විනාශ කිරීම මාස හයක් සිරගත කළ හැකි වරදක්. මෙය වෙන තැනකට ගෙනයන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා ඔහුගේ ඉඩමෙන් කොටසක් ලබාගෙන ඉදිකරන්න.    කිරිබත්කුඹුරෙත් මෙවැනි සිද්ධියක් වෙලා ව්‍යාපාරිකයා දින 8 සිරගත කළා. පසුව ඔහුගේ වියදමින් බස් නැවතුම සාදා දුන්නා. ඒදඬුවාව කර්මාන්ත ශාලාව බදු ගත් අය එහි බෝඩිමක් පවත්වාගෙන යනවා. කූලී නොගෙවනවා නම් එය නැවත පවරාගන්න.

ඉන්දික උඩවත්ත මහතා – (ප්‍රාදේශීය ලේකම්) – 

ලක්ෂ 15 පමණ හිඟ තියෙනවා. දැනුම්දීමෙන් පසු ලක්ෂ එකහමාරක් ගෙව්වා.

වසන්ත යාපා මන්ත්‍රිවරයා

බදු මුදල් නොගෙවන්නේ නම් ප්‍රයෝජනවත්  දෙයකට යෙදාගන්න. නැතිනම් පොලිසිය යොදවා නැවත පවරා ගැනීමට කටයුතු කරන්න.

රවි කුමුදේෂ් මහතා – (නාගරික නිවාස සංවර්ධන අධිකාරිය) –  

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්නොරුව මාර්ගයේ මහවැලි ගඟ අනවසර ඉදිකිරීම් 68ක් තියෙනවා කීවත් අපේ සමීක්ෂණ අනුව 72ක් හ¾දුනාගෙන තියෙනවා. මහවැලි රක්ෂිතයේ ගඟ අසල හෝටලයක් අඩි 80 පමණ ගඟ දෙසට නව අත්තිවාරමක් දමා තිබෙනවා.

සමන්ත උදය බණ්ඩාර – (ප්‍රාදේශීය සභා මන්ත්‍රි) –  

 මෙය විවෘත කළේ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ගෙන්වලා. ව්‍යාපාරිකයෝ කුට ලෙස දේශපාලන බලධාරීන් යොදා ගැනීම නිසා නිලධාරීන් එයට විරුද්ධව කටයුතු කිරීමට පසුබට වෙනවා.

වසන්ත යපා බණ්ඩාර  මහතා – (කමිටු සභාපති)

මහවැලි රක්ෂිතයේ ගඟ මැද ඉදිකිරීම් කරනවා නම් කාට වුණත් විරුද්ධව ක්‍රියා කළ යුතුයි. ඒ පිළිබඳව නීතිමය කටයුතු කරන්න  ප්‍රාදේශීය සභාවටද පුළුවන්. හත්කිඳ හෝටලයේ ඉදිකිරීම් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන්වා නතර කිරීමට කටයුතු කළා. දැන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේවාට දිසා අධිකරණයේ නඩු පැවැරුවාම දිගු කාලයක් යනවා. එය නීතියේ අඩුපාඩුවක්. මහෙස්ත්‍රාත්තුමාගේ ඍජු  අවධානය යොමුකර කඩිනමින් තහනම් කිරීමට ඇති පරිදි නීතිය සංශෝධනය විය යුතුයි.

නාගරික සංවර්ධන අධිකාරිය 

ගුඩ්ෂෙඩ් බස් නැවතුම හදනතුරු ගන්නොරුව  පාරේ හා නව නුවර පාරේ  බස් නතර කරන එක නවත්තන්න බෑ. එයට තාවකාලික පිළියමක් ලෙස උසාවිය පිටුපස ඇති භූමිය මාස තුනෙන් තුනට දීර්ඝ කරන පදනම මත කෙටිකාලීනව අපේ තක්සේරු වටිනාකමට ඉඩමක් ලබා දිය හැකියි. නමුත් දිගුකාලීනව දෙන්න බෑ. ඉදිරියේදී  අක්කර 8 එයට එකතු වෙනවා. පසුව ප්‍රවාහන අධිකාරිය සඳහා එහි කොටසක් වෙන්වෙනවා.

කොළඹ – නුවර මාර්ගය දෙපස බස් නතර කිරීමෙන් ඇතිවන මාර්ග තදබදය නතර කිරීමට එම ඉඩම කෙටි කාලීනව ලබාගැනීමට  කමිටුව තීරණය කරන ලදී.

පා.ම. වසන්ත යාපා බණ්ඩාර

නගර සංවර්ධනය යටතේ පිළිමතලාව නගර සංවර්ධනයට දවුලගල මාර්ගය අසල පිහිටි වසර 30 පමණ පුරන්ව තිබෙන කුඹුරු ඉඩම පවරා ගැනීමටත් පේරාදෙණිය නගර සංවර්ධනය සඳහා ඊරියගම පුරන් කුඹුරු යෙදා ගැනීමට හා කිරිබත්කුඹුර නගර සංවර්ධනය සඳහා බුළුමුල්ලෙන් පර්. 100 පුරන්කුඹුරු  ඉඩමක් පවරා ගැනීමට අදහස් කරන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මහනුවරට ක්‍රීඩා ගම්මාන දෙකක් ලැබුණු බවත් ඉන් පාපන්දු සම්මානය ගිරාගම ඉදිකිරීමට කටයුතු කරන අතර ගිරාගම ඉඩමේ නිල නිවාස 100ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

 කඩුගන්නාව පොලිසිය ඉතා කුඩයි. පොලිස් ස්ථානාධිපතිගේ කාර්යාලය ඉතා කුඩා ඉඩමක පිහිටා තිබීම නිසා පොලිසිය පිළිමතලාව නගරෙට ගෙන ඒමට යෝජනා කෙරේ. පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීම වූයේ දැනට පොලිස් තනිකඩ නිවාස එම භූමියේ පිහිටා තිබෙන නිසා ඉතිරි වී ඇති පර්: 30ක පමණ කොටසේ තෙමහල් ගොඩනැඟිල්ලක් සාදා දුන්නොත් එය  ප්‍රමාණවත් වන බවයි.

කොළඹ – නුවර පාරේ නාය යෑමට පිළියමක් ලෙස ඉදිවෙන බලන සිට මහන්තේගම හරහා අතුරු පාරේ වැඩ අරඹා ඇති බවත් රජයේ මාර්ග සංවර්ධන අධිකරිය පැවැසීය. එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රි සිරිසේන මහතා පැවැසුවේ එය උඩුනුවරට පිවිසුම් මාර්ගයක් වුණත් යටිනුවර පිවිසුම් මාර්ගයක් ලෙස බලන හරහා ඇති අතුරු මාර්ගය පිළිසකර කළොත් ඉන් මාර්ග පහසුකම් නොමැති බලන, මොටන, දෙකිඳ  යන ගම්මාන රාශියකට හා  යටිනුවර හරහා කොළඹ – නුවර අධිවේගී මාර්ගයටද  සම්බන්ධ කළ හැකි බවය. 

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වසන්ත යපා බණ්ඩාර මහතා පැවැසුවේ ඒ පිළිබඳව අවධානය යොමු වී ඇති අතර ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි බවයි. 

යටිනුවර – මහේන්ද්‍ර රන්දෙනිය