බීමතින් නිවෙසේ සිටි අයෙක් වරිපනම් නිලධාරිනියගේ නිල හැඳුනුම්පත ඉරා දමලා

0
20

පන්නිපිටිය – හෂාන් පුෂ්පික 

හෝමාගම – නියදගල ප්‍රදේශයේ නිවෙසකින් වරිපනම් බදු අය කිරීමට ගිය නිලධාරිනියකගේ නිල හැඳුනුම්පත ඉරා දමා බීමත් පුද්ගලයකු පහරදීමට තැත් කොට, රාජකාරියට බාධා කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පැවැසීය. 

සිද්ධිය වන අවස්ථාවේදී නිවෙසේ තවත් කාන්තාවක් සිට ඇති අතර ඇය සිද්ධිය පාලනය කිරීම නිසා පහරකෑමෙන් නිලධාරිනිය බේරී තිබේ. හෝමාගම පැරකුම් මාවතේ නිවෙසකින් ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු වරිපනම් බදු ගෙවීම වසර 7කින් පමණ පැහැරහැර තිබීම නිසා මෙම නිලධාරිනිය ඒ බව දැනුම් දීම සඳහා එම නිවෙසට ගිය අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇතැයි පැවැසේ. 

එහිදී ගෙවීමට තිබූ මුදලින් රුපියල් දෙදහසක් එම අවස්ථාවේදී ගෙවා ඇති අතර හිඟ මුදල සඳහා රතු නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදී ඊට උරණ වූ බීමතින් සිටි ගෙහිමියා නිලධාරිනියට බැන තර්ජනය කොට, පහරදීමට තැත් කොට තිබේ. බීමතින් සිටි පුද්ගලයා නිලධාරිනියගේ අනන්‍යතාව විමසා සිටි අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කර තිබූ නිල රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කර ඇති අතර එහිදී හැඳුනුම්පත උදුරාගෙන ඉරා දමා බිම දමා පාගා ඇතැයි පැවැසේ. 

පසුව සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ඉහළ නිලධාරීන් දැනුවත් කොට ඒ පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය නිවෙසට ගිය අවස්ථාවේදී සැකකරු නිවෙසින් පලාගොස් තිබූ අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවැසීය. 

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මඟින් විමර්ශන ක්‍රියාත්මක කරයි.