‘බැලට්’ එකෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම

0
66


යෝජිත පළාත් පාලන ඡන්ද ක්‍රමය ‘ලොකු පක්ෂයක් බත් කොස් දෙකම බෙදා ගන්නා අතර, සෙසු කුඩා පක්ෂවලට කැඳත් නැති කරයි.’ ලංකාවේ ඡන්ද ක්‍රමයට පදනම් වී ඇති ‘එක් ඡන්දයක් – එකම වටිනාකමක්’ සංකල්පයට පිටින් ‘ලොකු අයට ලොකු කුට්ටිය’ බෙදන ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරයි.  

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා යෝජිත නව ඡන්ද ක්‍රමය මඟින් පළාත් ආණ්ඩුකරණයට සිදුවන කිසිදු  යහපතක් නැති නමුත්, ලියාපදිංචි දේශපාලන පක්ෂ බහුතරයක් මැතිවරණ සිතියමෙන් අතුගා දමනු ඇත.

නව ඡන්ද ක්‍රමය මොකටද?

යෝජිත ක්‍රමයේ අංග 2 කි. 

1. ඕවර් හැන්ග් සභික සංඛ්‍යාව අහෝසි කිරීම.

2. ජයග්‍රාහී පක්ෂයට, සභික සංඛ්‍යාව 20ට අඩු ආයතනවලට බෝනස් අසුනක්ද, සභික සංඛ්‍යාව 20ට වැඩි ආයතන සඳහා බෝනස් අසුන් දෙකක්ද, ලබාදී වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට සභාවේ බහුතර සභික සංඛ්‍යාව ලබාදීම.

ප්‍රශ්නය කුමක්ද? තර්කය සාධාරණද?

1969 දක්වා පැවැති ගම් සභා ක්‍රමය තුළ ලංකාවේ පළාත් පාලන සභිකයන් 9,000ක් වූ අතර අද එම සංඛ්‍යාව 8,711 දක්වා පහත වැටී ඇත.  රටේ ජනගහනය මිලියන 8කින් වැඩිවී ඇත. පළාත් පාලනයේ සභික සංඛ්‍යාව වැඩි බවට වන තර්කයට පදනමක් නැත.

ඕවර් හැන්ග් සභික සංඛ්‍යාව මඟින් සිදු කරන්නේ, කොට්ඨාස ජයගත් සභිකයන්ට අනිවාර්යයෙන්ම අසුන් ලබාදීම සහ එයින් පරාජිත පක්ෂවලට අවාසියක් නොවන සේ තුලනය කිරීමය. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බහු වාර්ගික, බහු ආගමික, බහු සමාජීය, විචිත්‍රත්වය ඇති කරන්නේය. උදාහරණයක් ලෙස වැදි ජනතාව, වාකරේ, වෙරුගල් වැනි මහා සමාජයෙන් අතහැරී ඇති කණ්ඩායම් සඳහා නියෝජනයක් ලැබුණේ මේ ක්‍රමය නිසාය. වත්තට, ගමට ගමේ මිනිහෙක් මන්ත්‍රි ලෙස ලැබුණේ මේ නිසාය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැරැදි ප්‍රශ්නයකට, නිවැරැදි උත්තරයක් සොයන්නට උත්සාහ කර ඇත. මන්ද, යෝජිත ක්‍රමයෙන් ඉවත් වන උපරිම සභික සංඛ්‍යාව 385කි.  

තේරීම් කාරක සභාවේ තාක්ෂණික කමිටුව

මැතිවරණ ක්‍රියාවලිය අතිශයින් සංකීර්ණ තාක්ෂණික විෂයකි. පක්ෂ නායකයන්ට මැතිවරණ ක්‍රමය සැකසීමට තාක්ෂණික කමිටුවක් පත් කර ඇත. නමුත්, එම කමිටුව 2021 ඔක්තෝබර් මාසයෙන් පසුව ඔන්ලයින් ක්‍රමයට හෝ රැස්වී නැත. අවම වශයෙන් අතුරු කමිටු වාර්තාවට ඔවුන්ගේ දායකත්වය තබා නිරීක්ෂණ හෝ ලබාගෙන නැත.

කමිටු යෝජනා මඟින් ඇති කරන පළාත් පාලන ආයතනයකට ඇති කරන බලපෑම.

ඕවර් හැන්ග් නැති කිරීම හා බෝනස් සභික ධුර ලබාදීම තුළින්, ජයග්‍රාහී පක්ෂයට තමන් ලැබූ ජන්ද ප්‍රමාණයට වඩා වැඩි මන්ත්‍රි ධුර ගණනක් සභාවේ ලැබේ.  උදාහරණයක් ලෙස, සභාවක 35%ක් පමණ ඡන්ද ලබන පක්ෂයට විරුද්ධව 65%ක් පක්ෂ කිහිපයකට ඡන්දය දී ඇති විට, ජයගත් පක්ෂයට වැඩි සභික සංඛ්‍යාවක් විපක්ෂයේ සෙසු පක්ෂවලට ලැබේ. නව ක්‍රමයෙන් ජයග්‍රාහී පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය කුමක් වුවත්, සභාවේ මන්ත්‍රි බහුතරය සභාපතිවරයාට ලැබේ. සරලවම, වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් ලබා ගත නොහැකි පක්ෂවලට බෝනස් ‘බූස්ටරයක්’ ලැබේ. සෙසු පක්ෂ බලය බිඳේ. 

2018 ඡන්දයේ ප්‍රතිඵලය සහ යෝජිත ක්‍රමය 

පොදු ජන පෙරමුණට සභික ධුර 3,454ක්, එජාපයට 2,441ක්, ශ්‍රීලනිප 1,051, ජවිපෙට 437ක්, වෙනත් පක්ෂවලට 1,367ක් සභික ධුර ලැබී ඇත. 2018 ප්‍රතිඑලය යෝජිත නව ක්‍රමයට ගණනය කරන්නේ නම් එජාපයට  සභික ධුර 165ක්ද, එජනිසට 70ක්ද, ජවිපෙට 38ක්ද, එජනිසට 25ක් පමණද, පොදුජන පෙරමුණට ආසන 15ක් පමණද අහිමි වන්නේය.  ජවිපෙට වත්මන් සභික සංඛ්‍යාවෙන් 9%ක්, එජාපය සහ එජනිසට 7%ක් අහිමි වන්නේය. නමුත්, බහුතර ආසන දිනූ පොහොට්ටුවට අහිමි වන්නේ ආසන 0.8%කි.

නව ක්‍රමය ලබා දෙන ප්‍රතිඑලය  

1. ජයග්‍රාහකයාට බෝනස් අසුන් නිසා 35%ක ඡන්ද ප්‍රමාණයකට 50% ඉක්මවන සභික සංඛ්‍යාවක් ලැබේ. 

2. දෙවැනි ස්ථානය ලබා ගන්නා පක්ෂයට (ධුර එකක් දෙකක්.)  අඩුවේ  

3. තෙවැනි, සිවුවැනි ස්ථානවලට පත්වන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සභික ධුර අඩුවීම හෝ නැත්තටම නැතිවේ. 

4. පස්වැනි ස්ථානය සභික ධුර නොලැබීමට ඉඩ ඇත.

යෝජිත නව ක්‍රමය මඟින් පළාත් පාලන ආයතනවල අවසන් ප්‍රතිඑලය කොතරම් විසම ලෙස විකෘති කරන්නේද යන්න ඒ අනුව වැටහෙනු ඇත.

ස්වාධීන කණ්ඩායම් සහ කුඩා පක්ෂ 2018දී සභික ධුර 1,300කට වඩා දිනා ඇත. පක්ෂ අතර තියුණු තරගයක් ඇති වන්නේ නම්, එයින් වැඩිම අවාසිය මේ පක්ෂවලට සිදුවනු ඇත. ජයග්‍රාහක පක්ෂයට බත් ඇති තැනට කොසුත් බෙදන, දෙවැනි හා එයට පසු ස්ථානවලට කැඳත් නැති කරන්නේය. 

උතුරු පළාතේ දමිළ ජාතික සන්ධානයට තනි දේශපාලන අධිකාරයක් බිහිවන්නේය. උතුරු නැඟෙනහිර ද්‍රවිඩ, මුස්ලිම්, සිංහල සුළුතරයට තම සභාවල නියෝජනය අවම හෝ අහෝසි වී යෑම සිදුවන්නේය.

දැන් පළාත් පාලන ආයතනයන් කාන්තාවෝ 2,002ක් (එනම් 23%) සභික ධුර දරති. මෙම ප්‍රමාණය 16% දක්වා පහත වැටෙන්නේය. දැනටමත් කාන්තා නියෝජනය 20%ක් වත් නොමැති ස්ථානවල කාන්තා නියෝජනය 10%ක් ලැබීමද ස්ථිර නැත. කාන්තා නියෝජනය ගැන කතා කරන සිවිල් සංවිධාන මේ ගැන තවමත් උනන්දුවක් නොදැක්වීම පුදුම සහගතය.

නව ඡන්ද ක්‍රමය පැහැදිලි ලෙසම වත්මන් ආණ්ඩු පක්ෂයට වාසි සහගතය. නමුත්, ඉදිරි ඡන්දයකදී පරාජයට පත්වන්නේ නම්, වත්මන් පිරිමි සභිකයන්ට ලැයිස්තුවෙන් හෝ පත්වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත. 

කොට්ඨාස ජන සංයුතිය සහ ඡන්ද බෙදීයෑමේ ඓතිහාසික රටාව සැලකීමේදී නව ක්‍රමය තුළ සජබ/එජාප සන්ධානයකට නව ක්‍රමයෙන් පැහැදිලි අවාසියක් සිදුවන්නේය.  සජබ හා එජාපය වෙන්ව තරග කරන්නේ නම් සහ හවුල්කාර පක්ෂයක් ස්වාධීන කණ්ඩායමක් හෝ ඉදිරිපත් කරන්නේ නම්, සජබට කොට්ඨාස දිනාගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත. 

සභික සංඛ්‍යාව පහත වැටීමේ රටාව අනුව එජනිස හා ජවිපෙ (තෙවැනි හා සිවුවැනි තැනට පත්වන විට.) ලැබෙන ඡන්ද සංඛ්‍යාවට සභික සංඛ්‍යා ලැබෙන්නේ නැත.

උතුරේ දී නව ඡන්ද ක්‍රමය දමිළ ජාතික සන්ධානයට අතිශයින්ම වාසිදායකය. නැඟෙනහිරදී දමිළ සන්ධානයට එය අවාසියක් වන්නේය. ප්‍රාදේශීය දමිළ කණ්ඩායම් (උදා – කරුණා හෝ පිල්ලෙයාන්) ප්‍රාදේශීය මුස්ලිම් කණ්ඩායම් (උදා-සයින්දමරදු හා අක්කරෙපත්තුහි මුස්ලිම් කොංග්‍රසයට) සභික ධුර ලැබීම අතිශයින් දුෂ්කර වනු ඇත. 

හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ ‘බුලට් එකෙනි.’  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් වී ඇති නව ඡන්ද ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දයෙන් හෙවත් බැලට් එකෙන් විනාශ කරනු ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්