බලලා Delete කරන්න කියන ඒවා, ඇත්තටම බලලා Delete කරනවාද? Revenge Porn

0
137

කොල්ලෙක් කෙල්ලෙක් ආදරේ කරද්දී “බලලා ඩිලීට් කරන්න අයියේ” වර්ගයේ ෆොටෝස් සහ වීඩියෝස් හුවමාරු වෙන එක සාමාන්‍යයි. අනිවාර්ය දෙයක් නම් නෙවෙයි. ඒක ඒ දෙන්නගෙ කැමැත්ත අනුව තීරණය වෙන එකක්. තවත් සමහර කෙල්ලො ඒකට අකැමැතියි නම් “බඳිනකම් මට ඒවා කරන්න බෑ” කියලා හරි කියනවා. තවත් සමහරු ඉන්නවා තමන් ලිංගිකව හැසිරෙන එක වීඩියෝ කරලා, නැවත නැවත බලමින් රසවිඳින අය. ඒක අපි Self eroticism ලෙස හඳුන්වනවා. එහිදී තමන් තමන්ගෙම ලිංගික හැසිරීම් රස විඳිමින් එක්තරා ආකාරයක ලිංගික තෘප්තියක් ලබනවා. අපි කොහොමත් කොහෙහරි ටි්‍රප් එකක් එහෙම ගියාම ෆොටෝ ගහන්නේ මතක විධියට. ඉතින් මෙතැනදිත් වෙන්නෙ එහෙම දෙයක්මයි. තමන්ගෙම නිරුවත ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න කොල්ලො, කෙල්ලොන්ටත් හිතෙන හේතුව. ඉතින් මේවා සාමාන්‍ය දේවල්.

සමහර අයගෙ ආදර කතාව සම්පූර්ණයෙන්ම රාගික ආශාවල්වලින් තොර වෙන්නත් පුළුවන්. ඒවා ආධ්‍යාත්මිකයි. ඔයාලා දැකලා ඇති පත්තරවල ඕනෑතරම් මංගල දැන්වීම් එහෙම තියෙනවා. සමහර නවකතාවලත් ඔහොම චරිත තියෙනවා. මම කියවපු එක නවකතාවක තිබුණා මතකයි ‘’රාගයෙන් කිලිටි නොවුණ ආදරය ඉතා සුන්දරයි, සිත ආනන්දයෙන් පුරවයි‘’ කියලා. දෙදාස් ගණන්වල නව යොවුන් වයස පහු කරපු අපිට නම් හිතුණේ ‘’අයියෝ එහෙම නම් වැඩක් නෑ’’ වගේ එකක්. ඒත් ඒ වගේ සම්බන්ධතා ඕනෑ තරම් මේ ලෝකෙ තියෙනවා. ඒවා අපි හ¾දුන්වන්නෙ Platonic relationships කියලා. ඒ විධියෙ නොවන රාගික ආශාවල් සහිත ඒවා Romantic relationships. ඉතින් ගොඩක් ආදර සම්බන්ධතාවලත්, විවාහ සම්බන්ධතාවලත් මේ ලිංගිකත්වය කියන්නෙ ප්‍රධානම මෙව්වා එකක්.

ඉතින් සම්බන්ධතාවකදී කොල්ලයි, කෙල්ලයි දෙන්නම තේරුම් ගන්න ඕන අතිශය වැදගත් කාරණා 03ක් තිබෙනවා. මුලින්ම අපි පෞද්ගලික අවකාශවල සහ පොදු සමාජය අතරෙ වෙනස තේරුම් ගන්න අවශ්‍යයි. තමන් ආදරේ කරන කොල්ලා ඉල්ලපු නිසා, ආසයි කියපු නිසා නැත්නම් එහෙම නොයැව්වොත් තමන්ව දාලා යයි කියලා බය හිතෙන නිසා තමන්ගේ කොල්ලගේ Whatsapp එකට තමන්ගේ නිරුවත් ෆොටෝ එකක් යවන කෙල්ලෙක් ගැන හිතන්නකෝ. එයා තමන් අතිශයින්ම විශ්වාස කරන කොල්ලෙක්ට ඒක යැව්වා, එතැනින් ඉවරයි. එහෙම යවපු ඒ කෙල්ල ඊළඟ දවසේ Facebook එකේ ෆොටෝ එකක් දාන්න කලින් ඇඟ ගොඩක් පේනවද, සාය කොටයිද, මේ බ්ලවුස් එකේ කර කැපිලා වැඩියිද වගේ අටෝරාශියක් දේවල් හිතලා තමයි පෝස් කරන්නේ. ඒකේ තේරුම ඒ කෙල්ල Whatsapp  එකේ මගුල් නටලා ලෝකෙට හොඳ ගෑනි වෙනවා කියන එකද? ඔව්! Whatsapp පර්සනල් චැට් එකක් කියන්නේ පෞද්ගලික දෙයක්. ඒක පාවිච්චි කරන කාන්තාවකට ඒකේ තමන් කැමති දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ලිංගිකත්වය විඳින්නත් සමහරු ඒක භාවිත කරනවා. ඒ කරලා එතැනින් එළියට ඇවිල්ලා සාමාන්‍ය කාන්තාවක් වගේ ගෞරවාන්විතවත් ඉන්නවා. ඒක හරියට කාමරයක් ඇතුළෙ පිරිමියෙක් ඉස්සරහ නිරුවත් වෙන ගැහැනියක් එළියට බහිද්දී පිළිවෙළට ඇඳලා කරලා යනවා වගේම සාමාන්‍ය දෙයක්.

දෙවැනි කාරණාව “බලලා ඩිලීට් කරන්න අයියේ” කියන එක හරියට තේරුම් ගන්න එක. “බලලා ඩිලීට් කරන්න අයියේ” කියන වචන ටික ඇතුළේ තියෙනවා ලොකු දෙයක්. බරපතළ තේරුමක්.  ඒකට අපි කියනවා “කැමැත්ත” එහෙම නැත්නම් “අභිමතය” (Consent )  කියලා. Consent එක කියන්නේ කවුරුහරි කෙනෙක් කැමැත්තෙන් එයට එකඟ වෙන එක. ඒ කියන්නේ ඒක ඕනෑම මොහොතක වෙනස් වෙන්නත් පුළුවන් හොඳද? මොකද කැමැත්ත කියන එක නිශ්චිතයක් නෙවෙයි. ඒකත් මතක තියාගන්න.

ඔන්න ඔය කැමැත්ත කියන එක ලිංගික සම්බන්ධතාවලට ආවාම ඒක මාරම එකක්. කොච්චර බලගතු දෙයක්ද කියනවා නම් කැමැත්ත නැති තැන හිරේ විලංගුවේ ගිහින් තමා නතර වෙන්න වෙන්නේ. ගෑනු කෙනෙක්ගේ අකැමැත්තෙන් බලහත්කාරකම් කළොත් කූඩුවෙ අවුරුදු හතක් වුණත් ඉන්න පුළුවන්. මොකද ඒක ස්ත්‍රී දුෂණයක්. “බලලා ඩිලීට් කරන්න අයියේ” කියලා එවන ඒවත් තේරුම් ගන්න ඕන එහෙමයි. ඒ ජාතියේ ෆොටෝ සහ වීඩියෝ සම්පූර්ණයෙන්ම ඒ ෆොටෝවලට පෙනී ඉන්න කෙල්ලගේ කැමැත්තෙන් එවන දෙයක්. ඒ හින්දා ඒක ලීක් කරන්නත් අනුමැතිය එයාගෙන්ම ගන්න ඕන. දෙන්න අකැමැති නම් වහ බොනවා, මැරෙනවා, වෙන කෙල්ලෙක්ව සෙට් කරගන්නවා වගේ දේවල් කිය කියා බල කරන්නත් එපා. ඒක කෙල්ලගෙ මානව හිමිකම් කඩ කිරීමක්. බලලා ඩිලීට් කරන්න කියලා මිසක් බලලා යාළුවොන්ටත් යවන්න අයියේ කියලා කිව්වේ නැහැනේ. ඉතින් හරි සරලයි. ඕක තමා Consent කියන්නේ. 

ලිංගික අධ්‍යාපනය පොඩි කාලයේ ඉඳලම දෙන්න කියන්නේ නිකන්ම නෙවෙයි. කැමැත්ත කියන සංකල්පය, ඒකෙ වැදගත්කම වගේම ලිමිට්ස් (සීමාවන්) ළමයෙක් දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය නිසා. ඒවා නොදැන ඉන්න පුද්ගලයෙක් අනිවාර්්‍යයෙන්ම ‘Potential Sex Offender’ කෙනෙක්. ඒ කිව්වෙ මේ ලිංගිකත්වය ඕනිම අවස්ථාවක අනිසි විධිහට පාවිච්චි කරන්න යොමුවෙන කෙනෙක්. ගෑනු පිරිමි දෙගොල්ලොම.

තුන්වැනි කාරණාව “ලීක් වෙච්ච එව්වා” කියලා දෙයක් නෑ. අපි ඒක තේරුම් ගන්න ඕන. ගෑනු ළමයෙක් තමන්ගේ කොල්ලට යවපු ෆොටෝ එකක් ලීක් වෙලා කිව්වම ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම කවුරුත් දන්නේම නැතිව ඒවා ඉබේම ඉන්ටර්නෙට් එකට ගලාගෙන ගිහින් කියන එකද? ඒ වචනේ ඇතුළෙම තියෙනවා  ඒක නිකන් කාගෙවත් වරදක් නෙවෙයි වගේ දෙයක්. එහෙම නැත්නම් එච්චර සෙන්සිටිව් දෙයක්වත් පරිස්සම් කරගන්න බැරි තරම් කොල්ලගෙ තියෙන නොසැලකිල්ල වගේ දෙයක්. ඒත් එහෙම නෙවෙයිනේ වෙන්නේ. කවුරු හරි මේවා අරගෙන Whatsapp groups දානවා. Fb එකට upload කරනවා. එහෙම කරලා කියනවා උන්ට ෆොටෝ ගහන්න හොඳ නම් අපි බැලුවම මොකෝ කියලා. ඉතින් හිතලම ලීක් කරන එව්වා තමයි තියෙන්නේ.

ඒ නිසා මේ “ලීක් වෙනවා” කියලා කිව්වට ඇත්තටම වෙන්නේ යම් කෙනෙක්ගෙන් පළිගන්න, ඒ කෙනාට අනර්ථයක් කරන්න, ඒ ඡායාරූප හා වීඩියෝ අයිතියක් නැති මිනිස්සු විසින් හිතාමතා සැලසුම්සහගතව බාහිර සමාජයට නිදහස් කිරීම. ඒ නිදහස් කරන්නේ ඒවා තවත් කෙනෙක්ගේ ලිංගික තෘප්තියට භාවිත වෙනවා කියලා දැන දැනම එහෙමම වේවා කියලා හිතාගෙන. අදාළ ඡායාරූපවල ඉන්න කෙනා ගැන වෛරයක් ඊර්ෂ්‍යාවක් අනිවාර්යයෙන්ම එතැන තියෙනවා. මෙතැන තියෙන්නේම Revenge Porn කියලා දෙයක්. අනික මේකත් හොඳට තේරුම් ගන්න. නිරුවත් ඡායාරූප කියන්නෙම කලාවක්. ඔයාලා අහලා ඇති Nude Photography කියලා දෙයක්.

ඉතින් “බලලා ඩිලීට් කරන්න කියලා එව්වම මේ ටිකත් මතක තියා ගන්න කොල්ලනේ…. ඔයාට එවන්න කැමති වුණාට ගමේ හැමෝටම ඒවා යවන්න එයා කැමැති නැහැ. එක පාරක් එවන්න කැමැති වුණා කියලා ඉල්ලන හැම පාරම ඒවා එවන්න එයා බැඳිලා නැහැ. ඔයාට එව්ව එක ගමේ කොල්ලයි බල්ලයි සේරම එක්ක ශෙයාර් කරගන්නවටත් එයා කැමති නැහැ. කොටින්ම හරිම කැත විධියට කෙල්ල ඔයා එක්ක තිබ්බ සම්බන්ධෙ නතර කරලා ගියා කියලා හිතන්න. එතකොට ඒ ෆොටෝ බාහිර සමාජයට මුදා හරින්නත් ඔයාට අයිතියක් නැහැ. ඉතින් කොල්ලනේ මතක් කරලා බලලා ඩිලීට් කරන්න පුරුදු වෙන්න. යම් දිනයක ඒ කෙල්ල ඔයාගෙන් අෑත් වුණත්, පෙර දවසක ඔයාව විශ්වාස කරලා එව්ව දේවල් එහෙමම වළ දාන්න පුරුදු වෙන්න.

වෛද්‍ය චන්දි රාජපක්ෂ