පාසල් දරුවන්ගේ ආහාර වේලත් කපන්න යනවා

0
17


සවනි ශේශාධි

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල කප්පාදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් චෝදනා කළේය. පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව නොතකමින් දෙන මුදලට සරිලන සේ පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේල කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවැසීය.

එක් දරුවකුගේ ආහාර වේල සඳහා ගෙවන දෛනික මුදල ප්‍රමාණවත් නොවන්නේ යැයි ආහාර සැපයුම්කරුවන් කළ ඉල්ලීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවස්ථානුකූලව ගතයුතු හොඳම පියවර ලෙස දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා එම ආහාර වට්ටෝරුව සංශෝධනය කර ඇතැයිද හෙතෙම කීය.   

ඒ අනුව එක් ශිෂ්‍යයකුගේ ආහාර වේල වෙනුවෙන් දෛනිකව වෙන් කරන රුපියල් තිහක මුදල තුළම සංශෝධිත ආහාර වට්ටෝරුව ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම්වරයා නිර්දේශ කර ඇති බව ජෝසප් ස්ටාලින් පැවැසීය. 

ආර්ථික ගැටලු හමුවේ පීඩාවට පත්ව ඇති වකවානුවක යම් තරමකින් හෝ මවුපියන්ට සහනයක් සැලසීමට පාසල් දරුවන්ගේ ආහාර වේල සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වැඩි නොකර පෝෂණය හීන වන ලෙස දරුවන්ගේ ආහාර වට්ටෝරුව සංශෝධනය කිරීම බරපතළ ගැටලුවක් බව ඔහු කීය.

මේ අනුව එක් දරුවකුට සහල් ග්‍රෑම් 75ක බත් වෙනුවට සහල් ග්‍රෑම් 60ක බත් ප්‍රමාණයකුත් ග්‍රෑම් 50ක් ලෙස ලබාදිය යුතු බිත්තර ප්‍රමාණය ග්‍රෑම් 25 දක්වාත් අඩු කර ඇතැයි හෙතෙම චෝදනා කළේය. 

මේ සංශෝධිත ආහාර වට්ටෝරුවෙන් හාල්මැස්සන්, කරවල ආදිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද ඔහු පැවැසීය. 

ආර්ථික දුෂ්කරතා හා රුපියල් තිහක් වැනි මුදලකට ආහාර සැපයිය නොහැකි යැයි පවසමින් සමහර පාසල්වල ආහාර සැපයුම්කරුවන් එම කාර්යයෙන් ඉවත්ව ඇති බවද ඔහු කීය.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ලෙස දිවයින පුරා තෝරා ගත් පාසල් 7000කට ආසන්න ප්‍රමණයක 2017.03.17 දිනැති 10/2017 චක්‍රලේඛය යටතේ නියමිත වට්ටෝරුවක් ලෙසින් මෙය ක්‍රියාවට නැංවුණු බවද ඔහු කීය.