නොකඩවා දින තුනක් පෝලිමේ හිටියත් ඩීසල් නෑ

0
22

දින තුනක් තිස්සේ ඩීසල් ලබාගැනීම සඳහා පෝලිමේ සිටි මෝටර් රථ රියැදුරන් පිරිසක් ඊයේ (28දා) උදෑසන ජාඇළ කපුවත්ත මංසන්ධියේදී කොළඹ – මීගමුව මහා මාර්ගය  වසා දමමින් උද්ඝෝෂණයක නියැළිණි. උද්ඝෝෂකයන් මහා මාර්ගය වසා දැමීමත් සමඟ කොළඹ මීගමුව මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති විය. උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස පවසා සිටියේ අඛණ්ඩව දින තුනක් කපුවත්ත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල තම රථ නවත්වාගෙන ඩීසල් ලැබෙන තුරු බලා සිටින බවයි.

ඩීසල් නොමැතිවීම නිසා නළ ළිං කාර්මිකයන් ඇතුළු ඩීසල් යොදා ගනිමින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන කර්මාන්ත බොහෝමයක් මේ වන විට නතර වී තිබෙන බවත් මේ හේතුවෙන් තම දරු පවුල් ජීවත් කරවීමට නොහැකි වී තිබෙන බවත් උද්ඝෝෂකයෝ පවසා සිටියහ. උද්ඝෝෂණය

සඳහා එක්වී සිටි ජා ඇළ නාගරික මන්ත්‍රි තුෂාන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජනතාව මෙතරම් අපහසුතාවකට පත්ව සිටින අවස්ථාවකදී පවා පාලකයන් ඒ පිළිබඳව කිසිදු සහනදායී වැඩපිළිවෙළක් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නොකිරීම රටේ ජනතාවගේ අභාග්‍යයක් බවයි.

ජා  ඇළ – ප්‍රසංග පාවුළුහේවා