නැට්ට නැති කැන්ද කොළ සෙවීම

0
61


අගෝස්තුවල ගන්න වෙන්නේ හාල් සැෂේ පැකට්. මේ ඊයේ අප ‘මව්බිමේ’  මුල් පිටු පුවතකි. එහෙම වන්නේ යල කන්නයට පොහොර නුදුන්නොත්ය. එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පොළොන්නරුව සේවාගමදී පැවැති මාධ්‍ය හමුවක කී කතාවක් මනම්පිටිය නිමල් ජයරත්න අප පත්‍රයට වාර්තා කොට තිබිණි. කොළඹදී කියන අසන කතන්දරවලට වඩා මේ කතන්දරය විමසා සිතා බැලිය යුත්තකි. හේතුව හේතුව රටට බත සපයන්නට ඉර හඳ සමඟ සටන් කරමින් දිවා රෑ වෙහෙසෙන වැඩි පිරිසක් වෙසෙන්නේ රජරට පළාතේ වීමයි.

මේ රටේ ගොවි ජනතාව ආණ්ඩු විසින් අල්ලේ නටවන්නට පටන් ගත්තේ නිදහස ලැබෙන්නත් පෙර සිටය. 1817 දී උඩරට මහ ගොවි කැරැල්ල පටන් ගත්තේ සුද්දා මේ රටේ ගොවි ජනතාව තළා පෙළා දැඩි පීඩනයට පත් කිරීමට එරෙහිවයි. ගම් නියම්ගම් ධාන්‍ය ගබඩා, ගොවිබිම් විනාශ කොට දමා කැරැල්ල මර්දනය කරන්න සුදු ආණ්ඩුව පියවර ගෙන තිබිණි. අනතුරුව සුදු ආණ්ඩුවෙන්ම ගෙනා ඉඩම් පනත (1840) මුඩුබිම් පනත (1897) නිසා ඉඩම් අක්කර 800,000ක් පමණ රාජසන්තක විය. තවත් අක්කර 500,000ක් පමණ ගොවීන්ට අහිමි වී ගියේය. රටේ ආහාර හිඟයක් පැනනැඟී විට දේශීය ජනතාව අන්ත අසරණ වූහ. ඉඩම් හා වගාව සම්බන්ධව වගකිවයුතු නිලධාරීන් වෙත ගොවීන් දස දහස් ගණනින් අස්සන් කළ පෙත්සම් යැව්වත් එයින් ප්‍රතිඵලයක් ලැබුණේ නැත. අරකාවිල ගොවි පෙරමුණ නම් වූ සංවිධානයක් මුල් වී කැලෑ කපන ගොවි පෙරහර නමින් ජනතා උද්ඝෝෂණයක් ඇරැඹිණි. දහස් ගණන් ගොවි පිරිස් කැති, උදලු, පොරෝ ගෙන රාජසන්තක කොට තිබූ කැලෑ ඉඩම් කපා කොටා ඇස්වැද්දීමේ ව්‍යාපාරයක් දියත් වූයේ ඒ අනුවයි.

මුලදී ආණ්ඩුවෙන් යම් යම් බලපෑම් එල්ල වුවත් මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ කීපයක් ගොවි ජනතාවගේ සටන්වලට නායකත්වය දීම නිසා ආණ්ඩුවට මර්දනය අත්හිටුවන්නට සිදුවූ අතර අප රටට නිදහස ලබාදීමට හේතු කාරණා පෙළ ගැහෙන්නටද මේ ගොවි සටන් උපකාරී වූ බව සඳහන් කළ යුතුය.

දැන් නිදහස ලැබී වසර 74කි. අධිරාජ්‍ය පාලනයෙන් බැට කමින් සිටි මේ රටේ ගොවි ජනතාවට තවමත් ගැටලුය. අර්බුදය. විටෙක වතුරය. තව විටෙක පොහොරය. වී ගොවිතැනට බාධාකර වූ වල්පැළ විනාශ කර දමන්නට රසායන වර්ග භාවිතය තවත් ගැටලුවකි.  නිදහසින් පසු බොහෝ ආණ්ඩු ගොවි ජනතාවගේ ඡන්ද බලය වෙනුවෙන් ඇපයට තබා ගත්තේ පොහොරය. නැතිනම් වතුරය.

අප රටට නිදහස ලැබෙන්නට වසරකට පෙර 1947 දී සමස්ත ලංකා ගොවි සම්මේලනයේ වාර්ෂික සභාවේදී “මහවැලි ගඟ උතුරට හැරවිය යුතුය” යන යෝජනාව ඉදිරිපත් විය. නිදහසින් පසු මේ යෝජනාව ක්‍රියාවට නඟන්නට පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් 1948 ජූලි 25 දා අනුරපුර මහ රැලියක් හා උද්ඝෝෂණයක් ද පැවැත්විණි. එයින් පසු ඒ යෝජනාව ගැන දේශපාලකයන් වේදිකාවල කතන්දර කීවා පමණය. 

පොහොර ගැටලුවෙන් පීඩාවට පත්වූ ගොවි ජනතාවට තවමත් සහනයක් නැත. ආණ්ඩුවට දැන් තෙල්, ගෑස් ප්‍රශ්න මැද පොහොර ගැන අමතක වී ගොසින්ය.

වර්තමාන දේශපාලකයන්ට, මැති ඇමැතිලාට අතීතයෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත. මේ රටේ වී ගොවිතැන නඟාසිටුවන්නට ඇපකැප වූ සුදු ආණ්ඩුකාරවරුද එකල සිටියහ. හෙන්රි වෝර්ඩ් එහෙම කෙනෙකි. 1856දී වාරිමාර්ග හා කෘෂිකර්ම පනත සම්මත කරගෙන වාරිමාර්ග කමිටු පිහිටුවා වියළි කලාපයේ වී ගොවිතැන      නඟාසිටුවන්නට ඔහු පියවර ගත්තේය.  මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටුවන්නේ නිදහසට අවුරුදු 17කට පෙරාතුවය. එහෙත් අප රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තවමත්, අනුග්‍රහය නොලබන එකමදේත් කෘෂිකර්මයයි.

තවමත් නොවිසඳුණු පොහොර අර්බුදය හේතුවෙන් මේ රටේ ගොවි ජනතාව, මහ කන්නය වගා කළේ අඩුවෙනි. ගොවීන්ගේම ප්‍රකාශ අනුව අස්වනු ලැබීමෙහිද බරපතළ අඩුවක් පෙනෙන්නට තිබිණි. ඇතැම් කෙත් යායවල අස්වැන්න 50% දක්වා පහත වැටී තිබිණි.  උග්‍ර සහල් හිඟයකට රටට මුහුණ දෙන්නට සිදුවීමේ පෙරනිමිති පහළ වී තිබේ. ඉන්දියාවෙන් , මියන්මාරයෙන් හා චීනයෙන් සහල් ගෙන්වීම සඳහා සැලසුම් හා අපේක්ෂා ඇතත් තෙල්, ගෑස් හා සම්බන්ධව බලපාන ඩොලර් ගැටලුව හාල්වලටද වලංගු නොවන්නට ඉඩක් නැත. ලොව කිසිදු රටක් පිනට හාල් දෙන්නට ඉදිරිපත් වන්නේ නැත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  2017 දත්ත අනුව නම්, රටේ එක් පුරවැසියෙක් සහල් කිලෝ 89ක් වසරක් තුළ පරිභෝජනය කරයි. පාන් හා පිටි කෑමවල මිල ඉහළ ගොස් ඇති පසුබිමක මේ කියන ප්‍රමාණය තවත් වැඩිවී ඇතිවා මිසක අඩුවන්නට බැරිය.

මෙසේ මෙතෙක් රටට අවශ්‍ය හාල් ටික මේ රටේ නිෂ්පාදනය කළ හැකිව තිබියදී පිටරටට ණය ගැතිවන තැනට රට ගෙනයෑමේ අපරාධයට වගකිවයුත්තේ ගොවි ජනතාව රැවටිල්ලට ලක්කරන ආණ්ඩුවය.

සාමාන්‍යයෙන් අප රටේ වාර්ෂික සහල් පරිභෝජනය ටොන් මිලියන 2.5කි.  පොහොර හුටපටය නොතිබුණා නම් මේ රටේ හාල් හිඟයක් ඇති වන්නට අන් කිසිදු හේතුවක් නැත. ගොවීන් උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තේ රසායනික පොහොර සමාගම්වල බලපෑමෙන් බව කියන්නට ආණ්ඩුවේ ඇතැම් බලධරයන් උත්සාහ ගත්තත් සත්‍යය එය නොවේ. ආණ්ඩුවට නිසි සැලසුමක්  වැඩපිළිවෙළක් නැති වීමය.

රසායනික පොහොර හෝ කාබනික පොහොර නැතිව අස්වනු හිඟ වූ ගොවීන්ට වන්දි දෙනවායි කීවාට ඒ වැඩපිළිවෙළෙහිද සාර්ථකත්වයක් දක්නට නොතිබිණි.  රටින් පොහොර ගෙන්වීම නතර කොට දිගු කලක් ගතවී යළි ඒ තීරණ වෙනස් කරන්නට පියවර ගන්නා විට විපත ‍ෙදාරබියසට පියමැන හමාරය. චීනයෙන් ගෙනා පොහොර තොගයක් නිසි ප්‍රමිතියට නැති බව කියා ආපසු යැව්වේ පාඩුව අප රටට පවරාගෙන මුදලුත් ගෙවා හමාර කොටය.  තවත් පොහොර නැවක් එන බව කීවත් ඒ නැවට ගෙවන්නට ඩොලර් තිබේද? ඒ නැවත් ආපසු හරවා යවන්නට හෝ පාඩුව අප රටට භාර ගන්න සිදුවෙයිද? කෘෂිකර්ම අමාත්‍යවරයාත්, රාජ්‍ය අමාත්‍යවරයාත් දැන් මුනිවත රකිමින් සිටින සෙයකි.

මුදිත් පෙරේරා සඳහන් කරන ආකාරයට නම් අප රටේ ජනතාවට දිනකට සහල් මෙටි්‍රක් ටොන් හයදහස් පන්සීයක් අවශ්‍යය. ඔහු කියන්නේ  චීනයෙන් ලැබී තිබෙන හාල් ටොන් දෙදාහ වේලක් පිරිමහගන්නත් බැරි බවය. එසේ නම් දැන් අපි කුමක් කරමුද? තව හාල් නැවක් එනතුරු දෑස් දල්වා බලා සිටිමුද? නැව් ආවත් ඩොලර් කෝ. උදලු කෙටිය අරගෙන කුඹුරට බසින්නත් කා,  බී ඇඟට පතට සවියක් ලබාගත යුතුමය.

තෙල්, ගෑස්, විදුලිය ගැටලු සේම හාල් ප්‍රශ්නය ගැනත් අවධානය යොමු කළ යුතුය. අත හිත සවිය ඇතත් බත සරි කර ගැනීම පහසු නැත. හාවාත්, නරියාත්  එකතු වී ලබු කිරිබත් කෑ කතාව මේ රටේ ජනතාව හොඳින් දනිති. ආණ්ඩුව ලබු කිරිබත් කන්නට නැට්ට නැති කැන්ද කොළ සොයයි.