නඩුව අත්හිටුවන්නැයි පාඨලී කළ ඉල්ලීමට කරුණු දක්වන්න නියෝග

0
15


කමල් මහේන්ද්‍ර වීරරත්න

රාජගිරියේදී තම රියට තරුණයකු හප්පා පලායන ලදැයි මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අත්හිටුවන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කොට ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් ලබන මැයි මස 19 වැනි දින කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය ඊයේ (28දා) සියලු පාර්ශ්වයන්ට නියම කළේය.

අභියාචනාධිකරණයේ විනිසුරු ආර්. ගුරුසිංහ හා විනිසුරු ඒ. එස්. කුමාරත්නම් යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය එලෙස නියම කරන ලද්දේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

2016 වසරේ අමාත්‍යවරයකු වශයෙන් සිටිමින් රාජගිරිය ප්‍රදේශයේදී තමා පදවාගෙන ගිය රියට තරුණයකු හප්පා පලායෑම, අනතුර පොලිසියට වාර්තා නොකිරීම, රිය පැදවූ තැනැත්තා ලෙස වෙනත් අයකු අධිකරණයට ඉදිරිපත් කිරීම, පොලිසියට බලපෑම් කොට කරුණු විකෘති කිරීම යනාදී චෝදනාවන් යටතේ නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට ඇති අතර, එම නඩුව විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී ඊට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් විරෝධතා ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

මහාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමත් සමඟ ඊට එරෙහිව මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කොට ඇත.