දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න සුමන්තිරන්ගෙන් කොන්දේසි

0
37

කුරුණෑගල – විජේසිංහ වැලිකන්ද

ඩයස් පෝරාවේ බොහෝ දෙනකු ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න කැමැතියි. නමුත් උතුරු – නැඟෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදුන්නොත් තමයි ඒ අය තමන්ගේ ආයෝජන ලංකාවට අරගෙන එන්නේ” යැයි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා කුරුණෑගලදී පැවැසීය.

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීවේය.

“දෙමළ ඩයස්පෝරාව කියන්නේ මේ රටේ ජීවත් වෙච්ච දෙමළ මිනිස්සු. ඒ අයට මුහුණ දෙන්න සිද්ධ වුණු ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න බැරුව මේ රට දාලා ගිය මිනිස්සු. ඒ ගොල්ලො ඉපදුණු ප්‍රදේශවලට සහ තමන්ගේ ජාතියට සේවය කරන්න ඔවුන් කැමැතියි. අපි ජනාධිපති සමඟ කළ සාකච්ඡාවේදී දෙමළ ඩයස්පෝරාවේ ආයෝජන ගෙන්වා ගැනීම පිළිබඳවත් සාකච්ඡා කළා. දින කිහිපයකට පෙර තිබුණු සර්වපාක්ෂික සමුළුවේදීත් අපි මේ පිළිබඳව කතා කළා. ඩයස්පෝරාවේ බොහොදෙනෙක් ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න කැමැතියි. 

නමුත් උතුරු – නැඟෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදුන්නොත් තමයි ඒ අය තමන්ගේ ආයෝජන ලංකාවට අරගෙන එන්නේ. ඒකට හේතුව තමයි ඒ ආයෝජනයට රක්ෂණයක් ලැබෙනවාද කියලා සැකයක් ඒ අයට තිබෙනවා. ඇතැම් ඩයස්පෝරා සංවිධාන අද තහනම් කරලා තිබෙනවා. එවැනි තහනමක් තියාගෙන රජයට බැහැ ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න කියලා ඉල්ලන්න. ඒ නිසා බලය බෙදීම පදනම් කරගත්තු දේශපාලන විසඳුමක් දීලා, ඩයස්පෝරා සංවිධානවලට දාලා තියෙන තහනම ඉවත් කළා නම් බොහෝ  දෙනෙකු විදේශ මුදලුත් අරගෙන ආයෝජනයට එයි. විදෙස් මුදල් සම්බන්ධයෙන් අර්බුදයක් තියෙන මේ වෙලාවේ ආයෝජන පැමිණීම වැදගත්. 

උතුරු නැඟෙනහිර සංවර්ධනය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමටත් මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ මඟින්  අපට යම් ආයෝජනයක් ගෙන්වාගන්න පුළුවන්. මොකද ඩයස්පෝරාව නියෝජනය කරන පිරිස් තමන්ගේ ආයෝජන අරගෙන උතුරු නැඟෙනහිරට තමයි එන්නේ. මොකද ඒ ප්‍රදේශ ඒ අය ජීවත්වුණු පළාත් නිසා. ආයෝජන ගෙන්වාගන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන බවට රජය පැත්තෙන් මේ සාකච්ඡාවේදී කිව්වා. ඒ වෙලාවේ තමයි තහනම ඉවත් කිරීම සහ දේශපාලන විසඳුම් ලබාදීම පිළිබඳ යෝජනා අපි ඉදිරිපත් කළේ. රජය ඒ ගැන සලකා බලන බව සඳහන් කළා.”