දුරකථන කුලුනු අකුණු සන්නායකවල තඹ කම්බි සොරාගත් කුඩ්ඩා කොටු වෙයි

0
25


මල්වල _ ඩබ්ලිව්. අළුගොල්ල

දුරකථන කුලුනුවල අකුණු සන්නායක පද්ධතිවල සවිකර ඇති තඹ කම්බි සොරාගත් පුද්ගලයකුද සොරා ගන්නා ලද තඹ කම්බිවලින් කොටසක් සමඟ එම කම්බි මිලදී ගත් පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බව රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

පසුගිය මාස කිහිපයක් තිස්සේ පැල්මඬුල්ල, ගොඩකවෙල, පල්ලේබැද්ද, නිවිතිගල යන පොලිස් වසම්වල  සවිකර ඇති දුරකථන කුලුනුවල අකුණු සන්නායක පද්ධතිවල තඹ කම්බි මෙසේ සොරාගෙන ඇති බවත් මෙම සැකකරුට විරුද්ධව මෙම සොරකම් කිහිපයකට අධිකරණයේ නඩු පවතින බවත් සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූ බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

දුරකථන කුලුනු හයක පමණ කම්බි මෙසේ සොරාගෙන ඇති බවත් එයින් කොටසක් අටකලම්පන්න කවුඩුවාව ප්‍රදේශයේදී පැරැණි යකඩ බඩු මිලදී ගන්නා අයකු සතුව තිබියදී එම පුද්ගලයා සහ තඹ කම්බිද අත්අඩංගුවට ගත් බවත් අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

තඹ කම්බි සොරා ගන්නා ලද සැකකරු මත්කුඩු පානයටද ඇබ්බැහි වූ අයකු වන අතර වැල්ලඳුර පදිංචි අවුරුදු 27ක් වන විවාහක අයෙකි. 

රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සේනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර යන මහත්වරුන්ගේ නියෝග හා උපදෙස් මත කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. විජේසේකර මහතාගේ මෙහෙයවීමෙන් පැල්මඬුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ධම්මික නවරත්න , පො.සැ. ප්‍රියන්ත (12892), පො.සැ. සූරිය බණ්ඩාර (41607), සමීර (10874), පො.සැ. මාධව (36126), පො.කො. අබේදේව (84038) යන නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.