දුම්රිය ඉන්ධන වියදම් පියවා ගැනීමට ක්‍රම දෙකක් දිලුම් කියයි

0
24


මහනුවර – කේ.එල්. සුරවීර

දුම්රිය ඉන්ධන වියදම් පියවා ගැනීමට නම් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීම හෝ එම දෙපාර්තමේන්තුවේ අධික අතිකාල දීමනා අඩු කිරීමට සිදුවන බව ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම පැවැසීය. 

පෞද්ගලික ප්‍රවාහන සේවාවේ ගාස්තු සංශෝධනයක් ජූලි මස පළමු දින තෙක් යළි සිදුනොවන බවත් ඔහු කීය. මගී ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා රජය හා පෞද්ගලික බස් රථ හිමියන් කළ සාකච්ඡාවේදී මෙම එකඟත්වයට පැමිණි බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මහනුවර පුෂ්පදාන ශාලාවේදී ඊයේ (28දා) පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දුම්රිය ගාස්තු සංශෝධනයක් කරා යොමු වන්නේ එම දෙපාර්තමේන්තුවට ඩීසල් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය නිසා යැයි කී ඇමැතිවරයා ඉන්ධන මිලදී ගැනීමට ප්‍රමාණවත් පරිදි දුම්රිය ගාස්තු සංශෝධනයක් වෙත යොමුවන බව කීවේය. ජාත්‍යන්තර ඉන්ධන සැපයුම්කරුවන්ට එල්ලවන ප්‍රහාර ආදිය හේතුවෙන් තවදුරටත් ඉන්ධන මිල ඉහළයෑමක් අපේක්ෂා කළ හැකි යැයි කී ඇමැතිවරයා හැකි උපරිම අයුරින් මහජනතාව ආරක්ෂා කර ගැනීමට රජය පියවර ගන්නා බව කීවේය. ඉන්දියානු ඉන්ධන සමාගම ඉන්ධන මිල ඉහළ නැංවූයේ ජාත්‍යන්තර ඉන්ධන මිල ඉහළ ගිය බැවින් යැයි කී ඒ මහතා රජයට පවතින මිලට කොතරම් කාලයක් ඉන්ධන ලබාදිය හැකිද යන්න මහා භාණ්ඩාගාරය විසින් තීරණය කරනු ඇතැයිද ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවූ වහාම එහි සහනය පාරිභෝගිකයන්ට ලබාදෙන බවද ඇමැති දිලුම් අමුණුගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.