තෙල්-බස්-හෙද විරෝධතා

0
15


හක්මණ

හක්මණ බස් නැවැතුම්පොළ ඉදිරිපිටදී පිරිසක් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරත වූහ. පෙරේදා (27දා) රාත්‍රි හක්මණ පොදු බස් නැවැතුම්පොළ ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් ඉටි පන්දම් හා පන්දම් අතැතිව ප්‍රකාශ කළේ තෙල් මිල, බඩු මිල අඩු කර වහාම සහන දෙන ලෙසටයි. 

හක්මණ නගරයට විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම විරෝධතාව පැවැත් වූ අතර ඒ සඳහා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

උෟරුබොක්ක – අතාවුද පතිරණ 

කෑගල්ල

ජීවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා කෑගල්ල ඩිපෝවේ සේවකයෝ ඊයේ (28දා) කෑගල්ල ඩිපෝව ඉදිරිපිට සේවයෙන් බැහැරව සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

කෑගල්ල ඩිපෝවේ ධාවනයට සුදුසු බස් රථ 103ක් තිබෙන බවත් ඒ සඳහා සේවකයන් 420කට වැඩි පිරිසක් සිටින බවත් ගිණුම් නිලධාරි අතුකෝරල මහතා පැවැසීය.

2018 ඔක්තෝබර් 1 වැනිදා කළමනාකරණ සේවා චක්‍ර ලේඛය ක්‍රියාත්මක කළද වසර 3ක් තිස්සේ රියැදුරු කොන්‍ෙදාස්තර මහතුන් හට 2020 සිට චක්‍රලේඛය ක්‍රියාත්මක නොවන බවත් කීය.

2020 පැවැති අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද ජීවන වියදමට සරිලන වැටුපක් ලබා ගැනීමට චක්‍රලේඛය  ක්‍රියාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සේවකයෝ පැවැසූහ.

වැඩ වර්ජනය හේතුවෙන් සියලුම මාර්ගවල ධාවනය වන බස් රථ ඩිපෝවේ ගාල් කරන අයුරුද දක්නට ලැබිණි. 

දමුණුපොළ – චමින්ද ජයලත්, උඳුගොඩ _ ඒ. නරසිංහ

තංගල්ල

දකුණු පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල හෙද සේවයේ නිරත වූ නිලධාරීන්ට ලබාදී ඇතැයි කියන ස්ථානමාරුවීම්වලට විරෝධය දක්වා ඊයේ (28දා) තංගල්ල මූලික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.

තංගල්ල මූලික රෝහලේ සේවයේ නියුතු හෙද හෙදියන් පිරිසක් වැඩ වර්ජනයක නිරතවෙමින් මෙම  විරෝධතාවට සහභාගි වූහ.

දකුණු පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල සේවය කරන ඇතැම් හෙද හෙදියන්ට මේ වන විට ස්ථානමාරු ලැබී ඇතැයිද මෙය දකුණු පළාතට පමණක් සීමා වී තිබීමට විරෝධය දක්වන බව ඔවුහු කීහ. 

තංගල්ල – සහම්පති මානගේ