තවලම දෙපිරිසක් ගැටී ඇසිඩ් ප්‍රහාරයකින් අයකුට තුවාල

0
26


ගාල්ල – කමල් විජේහේවා

තවලම, මලන්ගල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග  ගොස් සිදුවූ ඇසිඩ් ප්‍රහාරයකින් එක් අයකු බරපතළ පිලිස්සුම් තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව හිනිදුම පොලිසිය පවසයි.

පෙරේදා (27දා) රාත්‍රි වූ මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙකි. කුලී වැඩ කරන පුද්ගලයකු සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් ගැටුමට දුරදිග යෑමෙන් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කොට ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තවත් තිදෙනකු සමඟ ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට අයත් පලතුරු වෙළෙඳසල ඉදිරිපිටට එදින රාත්‍රි 10.00ට පමණ ගොස් ඇත. එහිදී ගෝලයා වැඩට ගත්තේ ඇයිද යන්න මොහු පලතුරු වෙළෙඳසල් හිමියාගෙන් විමසා ඇති අවස්ථාවේදී ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් පලතුරු ව්‍යාපාරිකයා මෙම පුද්ගලයාට 

ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

ඇසිඩ් ප්‍රහාරය කළ පලතුරු වෙළෙන්දා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (28දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන 

පොලිස් පරීක්‍ෂක යූ.එල්. ප්‍රියන්ත මහතාගේ 

අධීක්‍ෂණය යටතේ මේ පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ පැවැත්වේ.