තඹුත්තේගම ජනතාවට වන අලි තර්ජන

0
15

එප්පාවල – කුමාර දිසානායක

කෝටි ගණනින් මුදල් වැයකර අලි අගල් හා අලි වැටවල් කොච්චර ඉදිකළත් වනඅලින් තඹුත්තේගම ජනතාවගේ වගාවන්ට කරන හානිය තවමත් අඩුවී නැතැයි තඹුත්තේගම ජනතාව පවසති.

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බල්ලන්කඩවල, දෙල්නේගම, කලවැල්ලෑව, තෙල්හිරියාව, කොත්මල්පුර ගම්මානවලට සෑම දිනකම කඩාවදින වනඅලින් ගොවීන් වගා කර ඇති සියලු බව බෝග කා දමා විනාශ කර දමන බවද ගොවියෝ චෝදනා කරති. මේ දිනවල තම කුඹුරුවල පැසී ඇති ගොයම් කා  දැමීමට පැමිණෙන වනඅලි රංචු පන්නා දැමීමට දැඩි වෙහෙසක් දැරීමට තමන්ට සිදුව ඇතැයිද ගොවියෝ පවසති.

අලින් පහළොස් දෙනකුගෙන් පමණ යුතු රංචුවක් කුඹුරුවලට කඩා වැදී ගොයම් පාගා විනාශ කර දමන බව පවසන ගොවීන් රසායනික පොහොර නොමැතිව ආදායම අඩුවී තිබෙන මේ මොහොතේ වනඅලින්ද කුඹුරු පාළු කිරීමෙන් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද පවසති. වනඅලි පන්නා දැමීමට ස්ථිර විසඳුමක් වනජීවී දෙපාර්තමේන්තුව ලබානොදෙන නිසා පවුලේ ඉන්න සියලුදෙනා එකතුවී තම වගාව බේරාගැනීමට රාත්‍රි කාලයට කුඹුරු මුර කිරීමට සිදුව ඇතැයිද ගොවීන් පවසති.

වසර කිහිපයක සිට තඹුත්තේගම අවට ගම්මානවල වගාවන්ට වනඅලින්ගෙන් සිදුවූ හානි නිසා මේ වනවිට පොල්ගස් දසදහසකට වඩා විනාශ වී ඇති බව පවසන ගොවීන් මෙතරම් රටේ පොල් මිල ඉහළයෑමට වනඅලින් පොල් ගස් දහස් ගණනින් විනාශ කර දැමීමද හේතුවක් වී ඇතැයිද පවසති.