ඥානසාර හිමිට ජනපති සමාව දීමට එරෙහි පෙත්සම මැයි 17දා කැඳවයි

0
14


කමල් මහේන්ද්‍ර වීරරත්න

වසර 06කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක වන වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමව සිරගතව සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් පියවර, නීතියට පටහැනි බව පවසමින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ ශේ‍ර්ෂ්ඨාධිකරණය එම කරුණ මතම පවරනු ලැබ, ලබන මැයි මස 17 වැනි දින කැඳවීමට නියමිතව ඇති අනෙක් අයිතිවාසිකම් පෙත්සමත් සමඟම එදිනට කැඳවීමට ඊයේ (28දා) නියම කළේය.

ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු මහින්ද සමයවර්ධන හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එලෙස නියම කරනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ඥානසාර හිමි හට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කොට එය වසර 

06 කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කරනු ලැබීය.

එකී සිරදඬුවම ගෙවමින් සිටින අතරතුර එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සමාව යටතේ එම දඬුවමින් ඥානසාර හිමි නිදහස් කරනු ලැබීය.

ඊට එරෙහිව මෙම පෙත්සම ගොනුකොට ඇත්තේ සන්ධ්‍යා එක්නැලිගොඩ විසිනි.

එම කරුණ මතම අනෙක් පෙත්සම ගොනුකොට ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි අධ්‍යක්‍ෂ පී. සරවනමුත්තු මහතා විසිනි.