ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට රජය ගත් තීරණය නිවැරැදියි

0
15


නිර්මාණි ගුණරත්න 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට මෙරට රජය ගත් තීරණය නිවැරදි යැයි ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පවසා තිබේ. එය මෙරටට දිගු කාලීනව ඉතා වැදගත් බවද ඇමෙරිකානු තානාපතිනිය  සඳහන් කර ඇත. ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර  ඊයේ (28දා) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය පවසා ඇත. 

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපදය  නියෝජිතායතනය (SUAID) මඟින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී රජය දැක්වූ සහාය එහිදී තානාපතිනියගේ ප්‍රසාදයට ලක් වී ඇත. 

පසුගිය කාලයේදී මෙරට ආර්ථිකය බිඳ වැටීමට හේතු වූ කරුණු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී  පැහැදිලි කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.  

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලි සහ දේශපාලන හා ආර්ථික උපදේශක සූසෑන් වෝක් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.