ගෑස් කඩේ ඉදිරිපිටම වැඩි මිලට ගෑස් විකුණලා

0
27


කොළඹ _ ජයසිංහ

ලිට්රෝ ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටි අඹු-සැමි යුවළක් ඇතුළු තිදෙනකු පිළියන්දල විශ්වකලා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කීය. 

එම සැකකරුවන් සමඟ කිලෝග්‍රෑම් 12 දශම 5 ගෑස් සිලින්ඩර විස්සක් හා කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් පොලිසිය භාරයට ගෙන ඇත. ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළේ නියමිත මිලට වඩා රුපියල් පන්සියයක් වැඩියෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් අලෙවි කරන බවට පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත. 

විශ්වකලා ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයකුගෙන් ගෑස් සිලින්ඩර ලබාගෙන එම වෙළෙඳසල ඉදිරිපිටම තබාගෙන මෙම කූට ජාවාරම සිදුකරමින් සිටි බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. වැටලීම සිදු කළ ස්ථානයේ තිබූ ගෑස් සිලින්ඩරවලට අමතරව සැකකරුවන්ගේ නිවෙස තුළද තවත් ගෑස් සිලින්ඩර පහක් තිබී පොලිස් භාරයට ගත් බව වැටලීම  සිදු කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි සාරනාත් සමරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90068), සිත්රැවන් (89998) නිලධාරීහු වැටලීම සිදුකළහ.