ගාල්ලේ පුරන් කුඹුරු යළි වගා කරන්න රු. මිලියන 40ක්

0
32


ගාල්ල _ කමල් විජේහේවා

ගාල්ල දිස්ත්‍රික්කයේ  මෙම වර්ෂය තුළ (2022) පුරන්කුඹුරු අස්වැද්දීම සඳහා  රුපියල් මිලියන 40ක මුදලක් වෙන්කොට ඇති බව  ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්. එස්. ප්‍රියන්ජන් මහතා පවසයි. පුරන්  කුඹුරු වැඩිම පවතින දිස්ත්‍රික්ක අතුරින් ගාල්ල දිස්ත්‍රික්කය ඉන්  එක් දිස්ත්‍රික්කයක් බවත් මෙම වර්ෂයේදී පුරන්කුඹුරු අක්කර 1,500ක් වගා කිරීම සැලසුම්කොට ඇති බවද සහකාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

වලහන්දූව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් තල්ගස්යාය  ප්‍රදේශයේ  ඇති වාරිමාර්ග ගැටලු  සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. මෙදින ගොවි ගැටලු  සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක්  ගොවි ජනතාවගේ  සහභාගිත්වයෙන් අක්මීමන තල්ගස්යාය විහාරස්ථානයේදී පැවැත්වුණු  අතර එහිදී කොමසාරිස්වරයා මෙසේද පැවැසීය.

පසුගිය වර්ෂයේ  ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුරන්කුඹුරු ව්‍යාපෘති ආරම්භ කළත්  ගොවි සංවිධාන එම ව්‍යාපෘති ඉදිරියට අරගෙන ගියේ නැහැ. එම නිසා එම ව්‍යාපෘති අත්හැර දැමීමට සිදුවුණා. ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීමෙන් පසු  තියෙන පුරන්කුඹුරු සියල්ල  අස්වද්දාගැනීමට පුළුවන් වේවි කියා අපි බලාපොරොත්තු වුණා. නමුත් එහෙම වුණේ නැහැ. ඇළ මාර්ග අලුත්වැඩියා කරලා දුන්නත් ඇතැම් ගොවීන් කුඹුරු වගා කළේ  නැහැ. රජය මුදල් වියදම් කළත්  ඉන් නියම  ප්‍රතිඵලය ගත්තේ  නැහැ. ගාල්ල දිස්ත්‍රික්කය වැඩිම පුරන්කුඹුරු ඇති දිස්ත්‍රික්කවලින් එකක්  යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල කඩවත් සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්මකීර්ති ශ්‍රී  අක්මීමන තල්ගස්යාය,  ශ්‍රී  අශ්වත්ථාරාම විහාරාධිපති මතුගම ගුණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර මෙම අවස්ථාවට වලහන්දූව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි කේ.එච්.ජේ. සඳමාලි මහත්මිය  ප්‍රදේශයේ ගොවි ජනතාව  සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීහුද  එක්ව සිටියහ.